Saturday, September 26, 2009

අතීත සැමරුම්

හිරිපොද වෑහෙන සැන්දෑ යාමෙක
මුලින්ම අප හමු වූවා මතකද
එකම කුඩය යට දෑත් පටලවා
පාළු මාවතේ පිය නැගුවා මතකද

ගොම්මනෙ හිනැහුනු හෙන්දිරික්ක මල්
නුඹේ තෝඩු මෙනි මම කීවා
කණාමැදිරියෙකු සේ නුඹ පසුපස
මා එනවා යයි නුඹ කීවා

මිනිත්තු පැය දින අවුරුදු ගතවී
අප ඇත අද දින මහළු වෙලා
තවත් පෙම්වතුන් සිය දහසක් යන
අප ගිය මාවත තරුණවෙලා

එදා වගේමයි හෙන්දිරික්කා මල්
තවමත් ගොම්මනෙ හිනැහෙනවා
මල් වල තනියට හැමදාමත් රෑ
කණාමැදිරියන් ඉගිලෙනවා

පාළු මාවතේ තනිවම යන විට
අපේ මතක මට සිහි වෙනවා
ඉඳහිට වැටෙනා සීතල හිරිපොද
නුඹ කොතැනකදැයි විමසනවා



Related Articles by Categories


0 ප්‍රතිචාර:

Grab this Widget ~ Blogger Accessories