Thursday, February 23, 2012

සුන්දර ගම්මානේ



 මේ දිනවල මා සෙවයේ යෙදී සිටින්නේ දඹුල්ල -හබරණ නගර දෙක අතර මැද පිහිටි දිගන්පතහ පුදේශයේය. සාමාන්‍ය ව්‍යවහාරයේ දිගන්පතන නමින් හැඳින්වෙන්නේද මේ ගමමය. දැනට මාස හතරකට පෙර දිනක මා මෙම ප්‍රදේශයට මාරු කර ඇති බව දැනගත් මොහොතේ මා ඉතා අකැමැත්තෙන් මෙහි ඒමට තීරනය කලෙමි. මා සහ මගේ සහායකයාට නවාතැන් සඳහා කාමර දෙකක් සහිත නිවසක් ආයතනයෙන් ලබා දුනි. පහසුකම් නම් ඉතා අඩුය. නමුත් සරලය. මා පත්වීම ලැබුවේ අප ආයතනයට සම්බන්ධ සංචාරක හෝටලයකට වූ බැවින් කෑම බීම පිළිබඳව නම් ප්‍රශ්නයක් නැත.නමුත් රාජකාරී වේලාව නම් මරේ මරුය. දවල් වරුවම සැපසේ නිදාගෙන හෝ ගම පුරා ඇවිදිමින් කල් ගෙවන අතර රාජකාරිය ආරම්භ වන්නේ හවස 5.00 ට 6.00 ට පමණය. 10.00 ට නැවත ගෙදර යා හැකිය. කොළඹ හෝ නුවර මෙන් වාහන තදබදය අතරින් දාඩිය පෙරාගෙන සේවයට යාමට සිදු නොවේ. පීදීගෙන එන වෙල් යායවල් මැදින් වැව ඉස්මත්තෙන් සේවයට යාම ඉතා සුන්දර අද්දැකීමක් වුවත් එහි භයානක කොටස වන්නේ රාත්‍රියට ආපසු යෑමේදීය. හවස හයෙන් පසු තනියා පාරට එයි. ඊට අමතරව තවත් අලි දෙතුන් දෙනෙකු ඇතැම් දිනවල පැමිණ ඇත. තදින් වැස්සොත් වැව උතුරා පාර අඩි තුන හතරක් යට වෙන නිසා මීටර 500 දුරින් ඇති නවාතැනට යාමට අලි සිටින කැලෑව මැදින් කි.මී 3 ක් පමණ යා යුතුය.ඒ පරිප්පුව නම් දවසක් කෑවෙමි. වාසනාවකට තාම නම් රාත්‍රියේදී අලියෙක් මුනගැසී නැත.
මේ ගම්මානය මෙන්ම බොහොමයක් සුන්දර මිනිසුන් පිරිසක්ද මෙහි වෙති. කොළඹ අපේ ගමකදී කිසිදිනක පිටින් පැමිණි බෝඩින් කාරයෙකුට නොලැබෙන සැලකීමක් ඔවුන් අප කෙරෙහි දක්වති. ජනවාරි 1 වෙනිදා මා සුපුරුදු පරිදි හෝටලයට ගොස් උදේ වේල ගෙන ගෙදර එන විට අපේ නවාතැනට අල්ලපු ගෙදරින් කැවුම් කිරිබත් පිඟානක් එවා තිබින. ඊට කීප දිනකට පසු ගමෙදී දැක පුරුදු කාන්තාවක් උදේම නිවසට ආවාය. "අනේ පුතේ දුවගෙ මඟුල තිබුන. පුතාලට කියන්න බැරි උන නිසා මම මේ කොටහ ඇන්න ආව" යැයි පවසමින් රස කැවිලි පාර්සලයක් මා අත තැබුවාය. ඊට පසු ගමේ තිබු තවත් මගුල් ගෙවල් දෙකකට පමණ අපට සහභාගී වීමට සිදුවිය. මේ .මේ සුන්දර මිනිසුන් අපට අපි සිටින්නේ පිට ගමක බව මොහොතකටවත් දැනෙන්ට නොදී අපව ඔවුන්ගේ කර ගත්හ. අල්ලපු ගෙදරින් සෑම දිනකම උදේට එළකිරි බාගයක් නොවරදවාම ලැබෙන අතර ගමේ තරුණයන් සෙට් වෙන දාට අනිවාර්යෙන් අපටද ආරාධනාවක් ලැබෙයි. හවසට සේවයට යාමට ප්‍රථම අවට ඇති වැව් පහෙන් එකකට ගොස් හිතේ හැටියට නා ගැනීමටද පුලුවන.
නමුත් මේ සුන්දර මිනිසුන් අතර අසුන්දර මිනිසුන්ද නැතිවාම නොවේ. මා මෙහි පැමිණි පළමු දිනම මට හමු වූයේ අපූරු මිතුරෙකි. ඒ මා සේවය නිමවී පැමිණ රාත්‍රී ආහාරය ගනිමින් සිටින අතරය. මාස දෙක තුනක් පමණ වයසැති බලු කුක්කෙක් බඩගින්නේ වෙව්ලමින් පැමිණ මගේ දෙපා පාමුල වැටුනි. එදා සිට දිගටම ඌට තුන් වේලම අපෙන් ලැබුනු නිසා ඌ අප සමගම නතර විය. රාත්‍රියට මගේ කාමරයේ දොර පාමුල නිදා ගන්නා ඌ නැව ආපසු යන්නේ උදේ මා අවදි වී දොර විවෘත කල පසුවය. නමුත් දිනක් ඌ ආවේ නැති අතර පසුවදාද ආවේ නැත. දින දෙකකට පසු ලේ වමනය කර පාරක් අයිනේ ඌ මැරී තිබුනි. කවුරුන් හෝ ඌට වස කවා ඇති බව ගම්මුන් කීවත් අද වනතුරු ඒ පාහර වැඩය කල එකා සොයා ගැනීමට නොහැකි විය. මෙහි බොහෝ මිනිසුන් බල්ලෙකුට තියා තමන්ගේ වගාව හානිකරන , ජීවිත නැති කරන අලියෙකුටවත් කිසිදු අනතුරක් සිදු නොකරයි. මීට ටික කලකට පෙර ගම පුරා ඇවිද කිසිවෙකුටත් හානියක් නොකල අලියෙක් කිසියම් පුද්ගලයෙකුගේ වෙඩි පහරකින් අවසන් ගමන් ගොස් ඇත. ගම්මුන් තවමත් ඒ වෙඩි තැබූ පුද්ගලයා සොයයි. අහු වුන දාට ඔහුටද අවසන් ගමන් යන්නට වනවා නියතය.
මේ ගමට ආ දා පටන්ම නැවත කොළඹට හෝ නුවරට යාමට මාන බලමින් සිටි මා හට තව දින දෙකකින් ඒ අවස්ථාව උදා වෙන නමුත් මේ සුන්දර ගම දමා යන බව හැඟෙන විට වචනයෙන් විස්තර කල නොහැකි හැඟීමක් සිත පුරා දුවන්නේ ඇයි දැයි මට නම් විස්තර කල නොහැක.

Grab this Widget ~ Blogger Accessories