Tuesday, December 29, 2009

2010 - අලුත් ගමනක ආරම්භයක්

හැම අවුරුද්දෙම අන්තිමට කරනව වගේ අදත් මගෙ කාර්යාලයෙ මගේ වැයික්කිය අස්පස් කරන්න පටන් ගත්තා. ඒත් පොඩි වෙනසක් තියෙනව කලින් අවුරුදු වලට වඩා. වෙනදට මම අස්පස් කරන මේසේ පුටුව කබඩ් ලිපිගොණු සේරම ජනවාරි පලවෙනිදට මාව පිලිගන්න බලන් ඉන්නවා. ඒත් ලබන ජනවාරි පලවෙනිදට ඒවා වෙනත් කෙනෙකුට භාර දෙන්න වෙනවා කියල තාමත් මගෙ හිත පිලිගන්නෙ නෑ. ආයතනයෙන් වෙන් නොවුනත් පුරුදු රස්සාව දාල යන්න වෙනව කියල හිතන කොටත් මහා දුක් මුසු හැඟීමක් හිතට එනවා. කලින් ලිපියකත් මම ඉඟි කරල තිබුන පිම්ම පනින්නයි මේ අස්පස් කරල සූදානම් වෙන්නෙ. පහු ගිය දවස් ටිකේ මගේ රාජකාරි භාරගන්න ආපු කෙනාව පුරුදු පුහුණු කරන එකටම කාලෙ ගතවුනා. හැම දේටම වඩා දුක හිතෙන්නෙ කවදාවත් රස්සාවකට පිට රට යන්නෙ නෑ කියල හිතාගෙන අතටම ආපු අවස්ථාත් බොහොමයක් අතෑරපු මම මේ සූදානම් වෙන්නෙ ලංකාව දාල යන්න කියල හිතන කොට තමයි. අලුත් තැනැත්තාව පුහුණු කරලාට පස්සෙ මගේ පුහුණු කාලය ආරම්භ වෙනවා. ඒ අපේ ආයතනයේම නුවර ශාඛාවට අනුබද්ධිතව. පුහුණුව අතර තුර අන්තර්ජාලයට පිවිසීම බොහෝම සීමා සහිත වෙයි. පුහුණුවෙන් පස්සෙ විදේශ රටක පිහිටි ආයතනයේම ශාඛා ජාලයසම්බන්ධව පත්වීම භාර ගන්න වෙනවා ලබන අවුරුද්දෙ මැද භාගය වෙන කොට. මෙතෙක් කල් මා රාජකාරී කල විෂය ක්ෂ්‍රේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම පරිභාහිර විෂය ක්ෂ්‍රේත්‍රයකට සම්බන්ධව මට උසස්වීමක් ලැබීම තමයි මේ සේරටම හේතුව. කොහොම උනත් මා ගැන ආයතනය තැබූ විශ්වාසය බිඳක්වත් පලුදු නොකර ලැබෙන රාජකාරිය අකුරටම ඉටු කිරීමට තමයි හිතාගෙන ඉන්නෙ.
ඉතින් අපි අලුත් අවුරුද්දක අලුත් විදියට ආයෙත් මුනගැහෙමු. එතෙක් ලබන්නා වූ 2010 අවුරුද්ද සියලු දෙනාටම සියලු සිතුම් පැතුම් ඉටු වන සුභම සුභ අලුත් අවුරුද්දක්ම වේවා...........

Saturday, December 26, 2009

මාත් ඔහොම ගිය හැටි මතකයි..........

"අර කෙල්ලගෙ බෙල්ල හිර වෙලා මැරෙනව අර තුරුලු කරන් යන විදියට.."

"ආ... දැන්ද ඒක තේරෙන්නෙ.. ඒ කාලෙ මාව තුරුල් කරන් යන කොටත් දැකපු මිනිස්සු ඔය විදියටම කියන්න ඇති..."

මේ මගේ මිතුරෙකුත් ඔහුගේ බිරිඳත් අතර පේරාදෙණිය මල් වත්තේදී මා ඉදිරිපිට ඇතිවූ දෙබසක්. මෙය ඇසීමත් සමග මාව ගොලු වෙලා පාසැල් කාලය වෙත මතකය දිව ගියේ නොදැනිම වගේ. මේ මිතුරාත් මාත් දෙදෙනාම පෙම්වතියන් සමග පේරාදෙණිය මල් වත්තට ආ ගමනත් ඇතුලුව සොඳුරු මතක රැසක් මා ඉදිරිපිට මැවුනේ චිත්‍රපටයක රූපරාමු පෙලක් මෙනි. ඇත්තටම අපටත් ඒ කාලෙ මිනිස්සු එහෙම කියන්න ඇති නේද?
ඒ උසස් පෙල කරන කාලයේ ගියාට පසු මාත් මිතුරාත් මල් වත්තට ආ පලමු අවස්ථාව මෙය වීමත් ඔහුට ඇය හා විවාහ වී ඔවුන්ගේ දියණිය සමගත් එදා පෙම්වතිය සමග එහි ගිය මා අද තනිවමත් පැමිනීම දෛවයේ සරදමක්ද කියලත් හිතුන කීප වරක්ම. ඒ වගේම මගේ හිතට ආපු දෙයක් තමයි අද මම මේ දකින කුරුළු ජෝඩු වලින් කී දෙනෙක් එකට කූඩු වෙන්න වාසනාව ලබයිද, කී දෙනෙක් මම වගේ තනි වෙයිද කියන එක.

ආදරය කියන්නෙ හරිම පුදුමාකාර දෙයක්. මිනිස්සු වෙනස් වුනාට කාලය වෙනස් වුනාට ආදරය හැමදාම එක වගේ කියල මට හිතෙනව.

මේ සියලුම සිදුවීම් අස්සෙ අමරදේව ශූරීන්ගෙ ගීයක කොටසක් තොලග මිමිනෙන්න පටන් ගත්තෙ නිකම්ම වගේ...

" සිරි පොද වැස්සේ එකම කුඩය යට ...
තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ.....
මාත් ඔහොම ගිය හැටි මතකයි..
මට හොඳ හැටි මතකයි........."

Tuesday, December 15, 2009

මා හට දී ඔයා ඈ සුර ලොව ගියා

අපේ ගෙවල් කිට්ටුව හිටපු මගේ වයසෙම යෙහෙලියක් මීට අවුරුදු කීපයකට පෙර මියගියා යම්කිසි රෝගයක් නිසා. ඒවෙනකොට එයාට මාස කීපයක් වයස දරු පැටියෙකුත් හිටියා. ඊට පස්සෙ ඇයගෙ සැමියා මේ දරුවත් එක්ක තනියෙම ජීවත් වුනා. අපි හැමෝටම කලයත් එක්ක ඒකත් තවත් එක සිදුවීමක් පමණක්ම වුනා. දැන් මේ දරුව ටිකක් ලොකුයි. පෙර පාසැල් යන්නත් පටන් අරන්. හැමදාම උදේට තාත්තත් එක්ක අහිංසක විදියට ඉස්කෝලෙට යන මේ දරුවව දකින හැම වෙලාවෙම මේ ගීතය මගේ මතකෙට එනවා. මේක ගායනා කරල තියෙන්නෙ කේ. සේන කියල ගායකයෙක්. මගේ හිතට වැදුනු සංවේදීම ගීත වලින් එකක් තමයි මේ.

Wednesday, December 9, 2009

තව ටිකක් කල් දෙන්න..

Monday, December 7, 2009

ඇත්තටම ලිනකස් වල වෛරස් නැත්ද?

මට මේක ලියන්න හිතුනෙ e-Asia 2009 බලන්න ගිය වෙලාවෙ දැකපු (අහපු) දෙයක් නිසා. e-Asia 2009 ගැන නම් ලියන්න දෙයක් නෑ. ගියපු අය දන්නව ඇතිනෙ. මේකයි කතාව. ප්‍රදර්ශනේ බලාගෙන බලාගෙන ගිහින් මමත් මගේ මිතුරාත් ලිනක්ස් වලට සම්බන්ධ කුටියක් අසල නැවතුනේ අළුත් යමක් තියෙයි කියල හිතාගෙනයි. ඇත්තටම අළුත් දෙයක් තිබුනා. තෙල් බේත් කාරයෙක් ලිනක්ස් විකුණනවා. සමහරු පැන පැන CD ගන්නවා. internet එකෙන් නිකම් ගෙදරට එවන එක මුන් විකුණනවා කියලත් සමහරු කතා වෙනව ඇහුනා. ඒත් ඒ විකුණපු එකට මම මොකුත් කියන්නෙ නැහැ. මොකද ඔවුන් ලිනක්ස් CD එක විකුණුවෙ Training CD එකක් එක්ක. ඒත් විකුණපු ක්‍රමේ තමයි වැරදි.

එතනදි මට තේරුන දෙයක් තමයි මේ CD මිලදී ගත්තෙ බොහෝ දෙනාට ලිනක්ස් ගැන නිසි අවබෝධයක් තිබුනෙ නෑ කියන එක.

එක් නරඹන්නෙක් ලිනක්ස් වල තියෙන විශේෂත්වය මොකද්ද කියලා ඇහුවම මේ තෙල් බේත් කාරයා කියපු කතාව ඔහුගේ වචන වලින්ම මෙහෙමයි...

"මේකට වෛරස් එන්නෙ නෑනෙ... වෛරස් එන්නෙ නෑ..."

"ඔයාලගෙ පෙන් ඩ්‍රයිවර්ස් බය නැතුව ගහන්න පුලුවන්.. මොකුත් වෙන්නෙ නෑ....."

ලිනක්ස් වලයි වින්ඩෝස් වලයි තියෙන ප්‍රධානම වෙනස්කම මේකද? ඇත්තටම ලිනක්ස් වලට වෛරස් එන්නෙ නැද්ද. නැත්නම් වෛරස් ආවට ලිනක්ස් ඉලක්ක කරගෙන වෛරස් ලියවෙනවා අඩුද?

අපි ඇත්ත කතා කලොත් තාමත් ලංකාවෙ පරිගනක පරිශිලකයන් වැඩි දෙනෙක් භාවිතා කරන්නෙ වින්ඩෝස් හොර කොපි.ඉතින් ඔය වෛරස් නෑ කියන ලිනක්ස් තියෙන පරිගනකයක ඉඳල File එකක් වින්ඩෝස් තියෙන පරිගනකයකට දාල බලන්න තියෙන වෛරස් පුමාණය.

මට මේ කතාව ඇහුන වෙලේ මතක් උනේ මේ සිංහල බ්ලොග් අවකාශේ ඉන්න අපේ සහෝදරයො සමහර වෙලාවට අතිනුත් වියදම් කරගෙන FOSS ප්‍රචලිත කරන්න දරන වෑයම. ඒ වගේම තමයි ඔවුන් කිසිම වෙලාවක මේ ලිනක්ස් වලට වෛරස් එන්නෙ නැති කතාව උලුප්පලා කියන්නෙ නෑ. වෙන්න ඕනෙත් ඒකයි නවකයින්ව නොමග නොයවා හරි දේ කියා දී හරි මග යැවීමයි.

මේකෙන් කාගෙ හරි හිත රිදුන නම් සමා වෙන්න ඕන.

Friday, November 20, 2009

කසළ ප්‍රතිචක්‍රීකරණය මගින් පරිසරය සුරැකීමට බිඳක් හෝ දායක වෙමු

අපගේ නිවාස සහ කාර්යාල පිරිසිදුව තබා ගැනීම පිණිස අප විසින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය සමග ඇති පොලිතීන් , ප්ලාස්ටික් වැනි දිරාපත් නොවන හෝ දිරාපත් වීම පිණිස අවුරුදු ගණනාවක‍් ගතවන ද්‍රව්‍ය මගින් පරිසරයට සිදුවන හානිය ගැන ඔබ මොහොතක්වත් සිතනවද. මා මේ පැවසීමට තනන්නේ එහි ආදීනව ගැන නම් නෙවෙයි. කසල පුතිචක්‍රීකරණ ක්‍රියාවලියකට ඔබටත් සම්බන්ධ විය හැකි ආකාරයක් ගැනයි. දැනට මෙම ක්‍රියාවලිය අප සේවාස්ථානය තුලද ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර පරිසරයට අප ආයතනය මගින් බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමානය අවම කර ගැනීමට එමගින් අවස්ථාව ලැබී ඇත.

ඉතාම පහසුවෙන් අපි හැමෝටම මේ දේ කරන්න පුළුවන් කියා මට සිතෙන නිසා මෙසේ ඒ පිළිබඳව සටහනක් තැබීමට සිත්විය. කිරීමට ඇත්තේ ඉතාම සුළු දෙයකි.

1. වෙන වෙනම කසළ බඳුන් 3ක් ගන්න

2. එකක් පොලිතීන් සහ ප්ලාස්ටික් ආශ්‍රිත ද්‍රව්‍ය සඳහාද , තවත් බඳුනක් කඩදාසි වෙනුවෙන්ද , අනික ප්‍රතිචක්‍රීකරණය කල නොහැකි ද්‍රව්‍ය සඳහාද වෙන් කරන්න

3. මෙහිදී භාජන තුනක් වෙනුවට දෙකක් භාවිතයෙන්ද මෙය කල හැකිය. එවිට භාජන දෙක ප්‍රතිචක්‍රීකරණය කල හැකි හා නොහැකි වශයෙන් වෙන් කල යුතුය.

මීට අමතරව දිරා යන අපද්‍රව්‍ය මගින් කොම්පෝස්ට් පොහොර නිපදවා ගැනීම මගින් කසල සම්පතක් බවට හරවා ගැනීමටද හැකිවේ
ඔබගේ කාර්යාලය හෝ නිවස පිහිටා ඇත්තේ කොළඹ නගරසීමා බල ප්‍රදේශය තුල නම් පහත සඳහන් දුරකථන අංක ඇමතූ විට ඔබ එකතු කල කඩදාසි හා පොලිතීන් ඔවුන් ඔබගේ ආයතනයට හෝ නිවසටම පැමිණ රැගෙන යනු ඇත. අවශ්‍ය නම් සතියකට වරක් හෝ දෙවරක් ඔවුන් පැමිණෙනු ඇත.

Neptune Paper – hotline 0777 530 405 – Only Paper
CMC/Abans Recycling Unit – hotline 0718 320 492 (Janaka) – Paper, Cardboard, Plastic Bottles, Polythene, e-Waste.

මා දන්නා පරිදි බොහෝ නගර වල ‍ප්‍රතිචක්‍රීකරණය කල හැකි ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපනය කර ඇත. ඊට අමතරව ඇතැම් නගර වල බහත මා සඳහන් කල ආකාරයට ලේබල් කර වෙන් කරන ලද කසල බඳුන්ද තබා ඇත. ඔබ කොළඹින් බැහැර ප්‍රදේශයක නම් මෙවැනි සථානයකට කසල භාරදිය හැකිය. අප සැමගේත් පරිසරයේත් අනාගත පැවැත්ම වෙනුවෙන් ඔබේ වටිනා කාලයෙන් මොහොතක් වෙන් කරන්න.

Friday, November 13, 2009

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ

අහිංසක ගැමි යුවතියක් සමග පෙමින් බැඳුනු ගැමි තරුණයෙකු , තරුණියගේ දෙමාපියන් පලමු වරට මුණගැසීමට යාමේදී ඇතිවන තිගැස්ම (දන්නෝ දනිති මේ ගැන) එඩ්වඩ් ජයකොඩි සමග පුණ්‍යා කත්‍රිආරච්චි දෙපල ගීයක ආකාරයෙන් ඉතා අලංකාරව ඉදිරිපත් කරයි.

බකිනි ගහේ බකිනි මලෙන් පාර අහන්නේ
කුරුන්ද ලඟ දෙල්ගහ යට නිවස තියෙන්නේ
කවදද එන්නේ //

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මං ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියම එන්නේ //

කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිලිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ
දෙමාපියන්නේ වරද නොවන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මං ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියම එන්නේ //

සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ
හනිකට එන්නේ //

බකිනි ගහේ බකිනි මලෙන් පාර අහන්නේ
කුරුන්ද ලඟ දෙල්ගහ යට නිවස තියෙන්නේ
කවදද එන්නේ //

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මං ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියම එන්නේ //
මෙතනින් බාගන්න

Friday, November 6, 2009

අවුරුද්දක් ගෙවුනු ඉක්මන...

2008/11/06 වෙනිදා තමයි මගේ පලමු බ්ලොග් සටහන ලියවුනෙ. ඒත් ඒ වෙනකොටත් මට අදහසක් තිබුනෙ නෑ මෙච්චර දුරට මම මගේ බ්ලොග් එක පවත්වාගෙන යයි කියලා. නමුත් අවකාශේ සහෝදර සහෝදරයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර තමයි මේක මේ තරම් කාලයක් පවත්වා ගැනීමේ රහස. පාසැල් කාලෙදිවත් කවියක් නිසඳැසක් ලියවුනු නැති මගේ අතින් කවි නිසඳැස් වගේ ඒවා ලියවෙන්න ගත්තෙත් බ්ලොග් එක නිසාමයි. ඒත් මම මගේ ඇත්තම නමින් ලියන නිසා මගේ හිතේ තියෙන හැම දෙයක්ම මෙහි සටහන් කරන්න බැරිවීම ගැන නම් පොඩි පසුතැවීමකුත් නැතුවම නෙවෙයි. අවුරුදු දහයකට පහලවකට කලින් සාමාන්‍ය පෙලට සිංහල රචනාවක් ලිව්වට පස්සෙ මගෙ අතින් මුලින්ම සටහනක් ලියවුනෙ තැන තමයි මේ බ්ලොග් එක. දන්නෙම නැතුව කොහොම කොහොම හරි අවුරුද්දක්ම ලියලා. ඉස්සරහටත් මේක අතාරින්න නම් අදහසක් නෑ. ඒත් ලිවීම සෑහෙන දුරට සීමා වෙයි කියල හිතෙනවා. මොනවා උනත් අවුරුද්දක් පුරාවට මගේ බ්ලොග් එක බලපු කියවපු හැම දෙනාටම බොහොමත්ම ස්තූතියි.

Thursday, November 5, 2009

ආදරයත් රසවත් නැත ඒ වගෙ නැත්නම්

ආදරයේ ඇති තවත් සුන්දර පැතිකඩක් ගැන කියවෙන අපූරු ගීතයක්. ජීවිතයේ කවදාම හරි දවසක අපි හැමෝටම මේ ප්‍රශ්නෙ කාගෙන් හරි අහන්න වෙයි වචනෙන් බැරි උනත් හිතෙන් හරි.

කවදාද කොහොම කොයි තැනකද අප හමු වූයේ
හැමදාම ඇසිමි ඔබ නැත මට පිලිතුරු කීවේ

ඔබ එදා ඉඳන් කී දවසක් මා හැ‍ඩෙව්ව ද
ඔබ එදා ඉඳන් කී දවසක් මා නැලෙව්ව ද
දිනකදි ලංවී දිනකදි ඈතට යනවා
දිනකදි එනවා තව දිනකදි සැංගෙනවා

කවදාද කොහොම කොයි තැනකද අප හමු වූයේ
හැමදාම ඇසිමි ඔබ නැත මට පිලිතුරු කීවේ

දිගටම එහෙමයි අද හෙට මතුත් එහෙමද
අප යන මග නිම වන්නේ කොහෙන් කොහොමද
ජීවිතයට හොඳටම ඇති මේ ලෙස ඇත්නම්
ආදරයත් රසවත් නැත ඒ වගෙ නැත්නම්

කවදාද කොහොම කොයි තැනකද අප හමු වූයේ
හැමදාම ඇසිමි ඔබ නැත මට පිලිතුරු කීවේ

මුල් ගායනය : මිල්ටන් පෙරේරා

උපදින්න ආයේ.... අතගන්න මාගේ....


උපදින්න ආයේ.... අතගන්න මාගේ......
නැගිටින්න ඔය නින්ද නොනිදා අනේ.......
ඔබ ඉන්න ලෝකේ... පවසන්න මිහිරේ......
මම එන්නෙමී දැන් මා හැර ජීවිතේ......

පය මාගෙ සිඹලා... පිළිගත්තෙ වැඳලා...
දෙවියා ඔබයි මාගෙ කියලා.....
මට ඉන්න කියලා... ඇයි ඉන්නෙ නිදලා......
නැගිටින්න මගෙ හුස්ම දෙමි මා.....

සිහි වෙන්න කියලා... දුන් මුද්ද පලඳා.....
සිටියා එදා මාව රැකලා........
මගෙ වාසනාවන්... සුල‍‍ගේ ගියාදෙන්......
හමු වේවා මතු ආත්මයේවත්.......

මගෙ පරණ ගීත ගොන්න අවුස්සද්දි තමයි මේ ගීතය හම්බ උනේ. ජෝති ගෙ තවත් නොමියෙන ගීතයක්. මෙතනින් බාගන්න.

Sunday, October 18, 2009

ආදරය......



Thursday, October 15, 2009

කොහොමද මෙහෙමම වෙනව නම් ??

මේක මට ඇත්තටම දැන් ටික දවසකට කලින් ආපු ප්‍රතිඵලයක් මගේ 2mbps connection එකට.

Tuesday, October 13, 2009

Interval ඉවරයි - කට්ටියම ඔලුවෙන් හිටගන්න..........

අපායට ගිය පොරකට තමන් කැමති දඬුවමක් තෝර ගන්න වරමක් ලැබුනලු. ඔන්න ඉතින් අපේ පොර අපායෙ වටේ පොඩි රවුමක් ගහන්න පටන් ගත්තලු පහසු දඬුවමක් හොයා‍ගන්න. ඔහොම යනකොට එක තැනක කටට ලෝදිය වක්කරනව, තව තැනක කටු ඉඹුලෙ නග්ගවනව ඔය වගේ එක එක දඬුවම් අතරෙ සෙට් එකක් අසූචි වලක බැහැල ෆුල් ආතල් එකේ ඉන්නව දැක්ක අපේ හාදය මෙක හොඳයි කියල පැන්නලු එවෙලෙම වලට. අනේ ටිකක් වෙලා යනකොට යම පල්ලෙක් ඇවිත් කිව්වලු "හා හා දැන් ඉතින් ඉන්ටවල් ඉවරයි. කට්ටියම ඔලුවෙන් හිටගන්න.........." කියල. හෆොයි අපේ හාදය නේද?

මටත් දැන් ඔය වගේම සීන් එකක් වෙලා තියෙන්නෙ. ඉන්ටවල් නම් ඉවරෙටම ඉවර වෙලා. දවාලෙට පොඩි ඇලට් එකක් දාපු කාලයක් මතක නෑ. වැඩ වැඩ වැඩ. බ්ලොග් එක ලියන්න හිතෙන්නෙත් නෑ. ඔලුව නිකම් පුහු වෙලා වගේ. පොත් ප්‍රදර්ශනෙන් ගෙනාපු පොත් ටික අල්ලන්නවත් උනේ නෑ. හ‍යියෝ කොහොමට හිටපු කොල්ලෙක්ද ඈ..?

මට නම් දැන් එපා.......... වෙලා ඉන්නෙ..

Tuesday, October 6, 2009

පුස් නොබැඳුණු ජීවිතේ..

මෙම ලිපිය මම තවත් අවුරුද්දකට පමණ පසු ලිවීමට සිතා සිටියත් පුස් බැඳුණු ජීවිතයක් ගැන ලිපිය කියවීමත් එහි මවිසින් පල කල ප්‍රතිචාරයට ලද පිලිතුරු ලෙස රචකයා විසින් මාගේ සාර්ථකත්වය ලඟා කර ගත් අයුරු සඳහන් කරන්නැයි කරන ලද ඉල්ලීමත් හේතුවෙන් මෙම ලිපිය මේ මොහොතේ ලිවීමට සිත් විය.
එහි රචකයා ලියා තිබූ “සිහින වූයේ මගේ සිත තුළ පමණක් හෙයින් අන් අයගේ සතුට වෙනුවෙන් මගේ සිහින බිලි දෙන්නට මට සිදු වී තිබිණ. යාන්තම් උසස් පෙළ නිමා කර ගත් දින සිටම රැකියාවකට පය තැබූ මට සිහින සැබෑ වෙන තැන කරා යාමට ඇවැසි ශක්තියක් හෝ උපකාරයක් හෝ අත් වැලක් තිබු‍ණේ නැත. බොහෝ අනාගත අපේක්ෂා සිහින තුළට දමා දොරගුළු වසා දිනපතා සුළු වැටුපකට රැකියාවට යන්නට මට සිදු විය.” යන කොටස කියවන විට මගේ ජීවිතයද මේ ආකාරයටම ආරම්භ වූ බව මට සිහි විය. නමුත් එහි එක් වෙනසක් වූයේ මම මගේ ජීවිතය පුස් කෑමට ඉඩ නොදීමයි.
මා කුඩා කල සිටම ප්‍රිය කල ක්ෂ්‍රේත්‍රයක රැකියාවක් ලැබීම සමහර විට එසේ වීමට එක් හේතුවක් වන්නට පුලුවන. කුඩා කල ම‍ගේ සම වයස් දරුවන් බෝල පිති ගෙන ක්‍රිකට් ගසන විට මා වයර් කෑලි , ටෝච් බැටරි, ටෝච් බල්බ ආදිය සමග සෙල්ලම් කල බව අම්මා අදටත් පවසයි. උසස් පෙල කරන කාලයේ මාගේ මොලයට වෛරසයක් ඇතුළුවීම නිසා හටගත් අසනීප තත්වයක් හේතුවෙන් වසර ගනනකට මට මොලේ වෙහෙසා වැඩ කිරීම පාඩම් කිරීම ආදිය වෛද්‍ය නිර්දේශය මත තහනම් විය. ඒ වන විට උසස් පෙලට අයදුම්පත් දමා තිබීම නිසා පාසැලේ හා උපකාරක පන්ති වල පාඩම් වලට සවන් දීම පමණක් කර ලියූ විභාගයෙන් ලැබුනේ සාමාන්‍ය සාමාර්ථ දෙකක් පමණි. සියලුම මිතුරන් ඉතා ඉහලින් උසස් පෙල සමත්ව විශ්ව විද්‍යාලයට යන විට මා හට එක්තරා ආයතනයක පරිගණක පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව උදා විය. එම පාඨමාලාව අවසානයේ විභාගයෙන් උසස් ලෙස සමත්වීම හේතුවෙන් එම ආයතනයේම උපදේශකයෙකු ලෙස මාගේ වෘත්තීය ජීවිතය ආරම්භ විය.
එම ආයතනයේ අවුරුදු පහකට ආසන්න වූ මාගේ සේවා කාලය තුලදී මා ලද වැටුපට වඩා වටිනා අද්දැකීම් සමූහයක් මම ලබා ගතිමි. එසේම යම්කිසි ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමටද මට හැකි විය. මාගේ ඊලඟ රැකියා අවස්ථාව උදා වන්නේ මා ඒ ගොඩ නගා ගත් ප්‍රතිරූපය තුලිනි. මෙහිදී මා දකින ආකාරයට ප්‍රතිරූපයක් ගොඩ නඟා ගත යුත්තේ තමන් සතු හැකියාවන් ආශ්‍රිතව මිස බොරු මවා පෑමකින් නොවේ. පාසැල් කාලයේ සිටම ඉලෙක්ට්‍රොනික විද්‍යාව අධ්‍යනය කිරීමද මා හට රුකුලක් විය. ඊට අමතරව වායු සමීකරණ ශිල්පය හා power Electrical පිලිබඳව මා සතු දැනුමද මා සේවය කල ආයතන වලදී මා ලබාගත් කළමණාකාරීත්වය හා ගිණුම්කරනය පිලිබඳ දැනුමද මාගේ මේ ගමන් මගේ මට මහඟු ආශීර්වාදයක් බඳු විය. මා සමග සේවය කල අය වැඩි වැටුප් සහිත රැකියා හඹා යන අතර තුර මා කලේ මාගේ වෘත්තීමය හැකියාවන් වැඩි දියුණු කර ගැනීමයි. එමගින් මාගේ ගමනේ වේගය මදක් අඩු වුවත් මා හට දැඩි ආත්ම විශ්වාසයකින් මා වෙත එන අභියෝග වලට මුහුණ දීමට හැකිවිය.
මා මේ අද සිටින මට්ටමට මා ගෙන ආවේ මවිසින් ලබාගත් වෘත්තීමය සුදුසුකම්, වැඩි දියුණු කර ගත් හැකියාවන් සහ මවිසින් ගොඩනගා ගත් ප්‍රතිරූපයත් එමගින් ගොඩනගා ගත් සමාජ සම්බන්ධතා මගිනුත් බව මා සිහිකරන්නේ නිහතමානී ආඩම්බරයක්ද සමගයි.
මේ වන විට මම රැකියාවේ ඉතා විශාල පිම්මක් පැනීමට සූදානම්ව සිටින අතර ඒ ගැන ලිවීමට තවම කල් වැඩි බව සිතේ. රැකියාවක අනුන්ට වල කපා ඉහලට යනවාට වඩා තමන්ගේ හැකියාවන් උදව්වෙන් ඉහලට යාමට උත්සාහ ගන්නේ නම් ඔබගේ පැවැත්ම වඩාත් ස්ථීර වන බව මාගේ අද්දැකීමයි. ඒ සඳහා පහත සඳහන් දේ අනුගමනය කල යුතු බවද මගේ අදහසයි.

1. තමන් සේවය කරන ආයතනයට , ප්‍රධානීන්ට අවංක වන්න
2. ආයතනයෙන් තමන් ලබා ගන්නා දෙයට වැඩි දෙයක් සැමවිටම ආයතනය වෙත ලබා දෙන්න
3. ඔබගේ සුදුසුකම් කිසිම විටෙක ආභරණයක් කර නොගන්න
4. තමන් අතින් වූ වැරැද්දක් කිසිම විටෙක අනෙකෙකු පිට පැටවීමෙන් වලකින්න
අවසාන වශයෙන් ලොක්කෙක් නොවී නායකයකු වීමට උත්සාහ ගන්න.

Saturday, September 26, 2009

අතීත සැමරුම්

හිරිපොද වෑහෙන සැන්දෑ යාමෙක
මුලින්ම අප හමු වූවා මතකද
එකම කුඩය යට දෑත් පටලවා
පාළු මාවතේ පිය නැගුවා මතකද

ගොම්මනෙ හිනැහුනු හෙන්දිරික්ක මල්
නුඹේ තෝඩු මෙනි මම කීවා
කණාමැදිරියෙකු සේ නුඹ පසුපස
මා එනවා යයි නුඹ කීවා

මිනිත්තු පැය දින අවුරුදු ගතවී
අප ඇත අද දින මහළු වෙලා
තවත් පෙම්වතුන් සිය දහසක් යන
අප ගිය මාවත තරුණවෙලා

එදා වගේමයි හෙන්දිරික්කා මල්
තවමත් ගොම්මනෙ හිනැහෙනවා
මල් වල තනියට හැමදාමත් රෑ
කණාමැදිරියන් ඉගිලෙනවා

පාළු මාවතේ තනිවම යන විට
අපේ මතක මට සිහි වෙනවා
ඉඳහිට වැටෙනා සීතල හිරිපොද
නුඹ කොතැනකදැයි විමසනවා

Wednesday, September 23, 2009

ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ..............

සමස්ථ ලෝකයම පිළිබඳව යම් යම් හේතූන් නිසා කල කිරී සිටිනවුන්ට තම ලබැඳියකු වෙතින් ලැබෙන සිනාවක් පවා කතරකට වැටුනු දිය බිඳක් සේ වටිනා බව මම අද්දැකී‍මෙන්ම දනිමි. මේ ගීතය මගිනුත් නන්දා මාලිනියන් කීමට උත්සාහ ගන්නේ එයමය.

Thursday, September 17, 2009

ඔබත් මනෝ කායික අද්දැකීම් ලබා තියෙනවාද?


ආත්මය එහෙමත් නැත්නම් අපේ භෞතික ශරීරයේ අදෘශ්‍යමාන පිටපතක් ලෙස මනෝකාය හැඳින්විය හැකියි (මෙය වැරදි නම් නිවැරදි කරන්න). ඕනෑම මනුශ්‍යයකු ජීවිතයේදී එක් වරක් වත් මෙම මනෝකායික අද්දැකීම් නොදැනුවත්ව හෝ ලැබිය යුතුය. මේ පිළිබඳව විශ්ලේෂණය කල විද්වතුන් පවසන අන්දමට මෙම මනෝකාය (Astral Body) අපගේ භෞතික ශරීරය හා සම්බන්ධ වී ඇත්තේ රිදීවන් තන්තුවකින් බව පැවසේ. කෙනෙකු මරණයට පත්වන අවස්ථාවේදී මෙම රැහැන බිඳී භෞතික ශරීරයත් මනෝකායත් වෙන්වන බවද පැවසේ. මරණයෙන් පසුත් දින කීපයක් යනතුරු එම පුද්ගලයා ජීවමානව සිටි කාලයේ තිබූ ශක්තිය මෙම මනෝකාය සතුව පවතින බවටද අදහසක් පවතී.
කෙනෙකු ඉතාමත් තද නින්දකට වැටුනු පසු / අධික ලෙස මත් ද්‍රව්‍ය භාවිතා කල අවස්ථා වල ඔවුන්ගේ මනෝකාය ශරීරයෙන් වෙන්වී (ශරිරය සමග වන සම්බන්ධතාවය පවත්වා ගනිමින්) සැරි සැරීමට පටන් ගනියි. එසේම දරුණු මාරක අනතුරු වලින් දිවි ගලවා ගත්තවුන් පසුකලෙක තම මරණාසන්න අද්දැකීම් ලෙස කරන ලද විස්තර කිරීම් වලදී , තමන්ගේ ශරීරය දෙස අහසේ හො‍් ඒ අසලක හිඳ බලා සිටිබව පවසා ඇත. මෙයද මනෝකායික අද්දැකීමකි. කෙදිනක හෝ ඔබ තද නින්දක සිටියදී ඉතාමත් උසක සිට ඔබව ඇද වැටෙනු දැනී තද ගැස්සීමක් ඇඟට දැනෙන අවස්ථාවක ඇහැරී තිබේද? එසේ දැනෙනුයේ ශරීරයෙන් වෙන්වූ මනෝකාය නැවතත් ශරීරය හා සම්බන්ධ වීමේදී බව පැවසේText Color.
භාවනා කිරීම වැනි දේ කිරීමෙන් මනස දියුණු කල විට මෙම මනෝකාය අපට අවශ්‍ය විටෙක ශරීයෙන් පිටතට ගත හැකි අතර එමගින් යම් යම් ක්‍රියාකාරකම් වලද යෙදීමට හැකි බවද මා අසා ඇත.
මා හටද මෙවන් අදදැකීම් මාගේ කුඩාකාලයේදී ලැබී ඇත. මා හට තදින් උණ ගත් බොහෝ අවස්ථාවල මා අහසේ පාවී ගොස් මා බොහෝ සේ ඇළුම් කල ස්ථාන වල සැරිසරනු දැනී ඇත. ඒ අවස්ථා වලදී මාගේ භෞතික ශරීරය ඇඳ මත තිබෙනුද දැක ඇත්තෙමි. එකල මෙම අද්දැකීම මට තේරුම් ගැනීමට නොහැකි වුවත් පසු කාලීනව මේ පිලිබඳ තොරතුරු සෙවීමේදී මෙය මනෝකායික සංචාරයක් බව පසක් විය.
මේ පිලිබඳ වැඩිදුර විස්තර මෙතනින් ගන්න පුලුවන්.

Thursday, September 10, 2009

(අ)සම්මත පෙමක්


Tuesday, September 1, 2009

නිල්මිණි දෑසේ මැවු ආලොකේ..............

තමා අතහැර ගිය ආදරණීය දෑසක් පිළිබඳ මතකය ආවර්ජනය කරමින් විරහව විඳින පෙම්වතෙකුගේ සිතේ ඇතිවන හැඟීම් ලයාන්විත ලෙස කැටිකොට සිසිර සේනාරත්න ගායනා කරන මේ ගීතය තවත් මගේ ප්‍රියතම ගීත අතරින් එකක්.

නිල්මිණි දෑසේ මැවු ආලොකේ
හද මැදුරේ නැත නිවුනේ
මල් වැනි ඒ හද මල් මෙන් මැලවී
ඇයි අද සෝ ගී නැගුනේ
ඇයි අද සෝ ගී නැගුනේ

නිල්මිණි දෑසේ මැවු ආලොකේ
හද මැදුරේ නැත නිවුනේ

මදු මලකට බඳු මුව මදහාසේ
මදු මලකට බඳු මුව මදහාසේ
රන් මුතු මිණි කැට වටිනා
ආදරයක රත් සිහින මවා දුනි
පෙම්බර සිතිවිලි අමුණා
මදුමල පරවී මුතු ඇට විසිරී
මා හැදු මාළිග බිඳුනා
එහි ආලෝකය නිවුනා
එහි ආලෝකය නිවුනා

නිල්මිණි දෑසේ මැවු ආලොකේ
හද මැදුරේ නැත නිවුනේ

කිංකිණි පිහින හඬින් මසුරන් වැනි
කිංකිණි පිහින හඬින් මසුරන් වැනි
ගැයු ගී මට සිහි වෙනවා
දෙසවන මී පැණි වැනි ඒ ගී හඬ
සුල‍ඟේ අද මුමුණනවා
ගීයට ගීයෙන් බැඳි හද බිඳුනත්
දෑසට කඳුළැලි එනවා
මම තනිවම වැලපෙනවා
මම තනිවම වැලපෙනවා

නිල්මිණි දෑසේ මැවු ආලොකේ
හද මැදුරේ නැත නිවුනේ

Wednesday, August 26, 2009

වසර 12 කට වැඩි මගේ පන්ති තහනම

පාසැලක විදුහල්පතිවරයකු විසින් ශිෂ්‍යයෙකු වෙත පැමිණිය හැකි උපරිම දඬුවම සති දෙකක පන්ති තහනමක් බව රූපවාහිනී නාලිකාවකින් අසන්නට ලැබුනු බැවින් මෙය ලිවීමට සිත්විය. මා ශිෂ්‍යත්ව විභාගය සමත්වී අගනුවර ජාතික පාසැලකට ඇතුලත් වූවකි. 1989 වසරේ පාසැලට ඇතුලත් වන විට සැබවින්ම ගුරු පියකු වූ එවකට සිටි විදුහල්පති තුමා මා පාසැලට ඇතුලත්ව වසරක් යාමට මත්තෙන්ම විශ්‍රාම ගියේය.
ඉන් පසු විදුහල්පති ලෙස පත්ව ආවේද සුදුසුකම් හා අත්දැකීම් වලින් අනූන ගුරු පියෙකි. එතුමාගේ සේවා කාලය වසර දෙක තුනකට නොවැඩි වුවත් ඒ කාලය තුල අප පාසැලේ ශීෂ්‍යයන් කිනම් තැනකදී වුවද මේ අසවල් පාසැලේ ශිෂ්‍යයෙක්ය ලෙස හඳුනා ගත හැකි වන ලෙස පාසැල් විනය මගින් අපහට අනන්‍යතාවයක් ගොඩ නගා දුන්නේය. මෝසා යනුවෙන් සිසුන් අතර ප්‍රසිද්ධ වූ, අඩි පහක් තරම්වත් උස නොවූ ඔහු වෙත අප එදා දැක්වූයේ බයක්ද, ගෞරවයක්ද යන්න අදටත් ප්‍රහේලිකාවක් වන්නේ ඔහු තරමක් දරුණු පාලකයකු ලෙස ප්‍රසිද්ධව සිටියත් ඔහු සේවයෙන් විශ්‍රාම යන දා අප සියළුදෙනාගේම නෙතට කඳුලක් මතුවූ බැවිනි. "පුතාල මට මෙච්චර ආදරෙයි කියල දන්නව නම් මම මේතරම් ඉක්මනට විශ්‍රාම යන්නෙ නෑ" යනුවෙන් එදා ඔහු පැවසූ වදන් අදත් අප සියළුදෙනා තුලම අදටත් වරදකාර හැඟීමක් නිතැතින්ම ඇතිකරයි. ජාත්‍යන්තර පාසැල් වල විනය පිලිබඳව කතා කරන විය දැනට ඔහු විසින් කොලඹ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර පාසැල ජාතික පාසැලකටත් වඩා ඉදිරියෙන් ඇති බව පැවසිය යුතුමය.
ඉන්පසු විදුහල්පතිවරයෙකු නොමැතිව වසරකට වැඩි ගන්ධබ්භ කාලයක් ගෙවූ පාසැලට කනකොකා හඬන්නේ එවකට සිටි අධ්‍යාපන ඇමතිගේ හෙංචයියකු වූ වනාතමුල්ල ප්‍රදේශයේ පාසැලකින් පන්නා දැමූ පුද්ගලයකු අප පාසැලේ විදුහල්පති ලෙස පත්වීමත් සමගය. ඔහුගේ මුල්ම රාජකාරිය ලෙස ඔහු සිදුකලේ එවකට අප විවේකයක් ලද විටෙක දුව පැන ඇවිදින ලද පාසැල තුලම වූ ගුරු නිවාසය අවට වූ තුරු සෙවන වටකොට තාප්පයක් බැඳ ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා වෙන්කර ගැනීමයි. සාමාන්‍යයෙන් උදෑසන දහයෙන් පමණ පසු ඔහු පුරුද්දක් ලෙස බීමත්ව සිටි බවද නොරහසකි. මේ මා උසස්පෙල හදාරන කාලයයි. එකල අපහට සිටි හොඳම ගුරුවරුන් බොහොමයක් මොහුගේ නොමනා ක්‍රියා හේතුවෙන් පාසැල හැරගිය බවද නොරහසකි. සිසුන් පිරිසක් විසින් යම්කිසි හේතුවක් නිසා කරන ලද වාර විභාග වර්ජනයක කොටස් කරුවකු ලෙසට, අසනීප තත්වයක් හේතුවෙන් විභාගයට නොපැමිණි මාද අසු වන්නේ මේ අතරය. මවිසින් අදාල වෛද්‍ය වාරතා ඉදිරිපත්කල පසු මේ පුද්ගලයා "තමුසේ Cadet කෙනෙක් නේද" යි විමසා " ආයෙත් මම දන්වල එවනකම් ඉස්කෝලෙ එන්න එපා" කියා පැවසුවත් දැනට අවුරුදු 12 කටත් වැඩි කාලයක් ගෙවී ගොසිනුත් තවමත් මාහට පාසැල් එන්න යයි ඔහු විසින් දන්වා එව්වේ නම් නැත. වැරැද්ද මා ශිෂ්‍ය භටයකු වීමය. මගේ වාසනාවකට එකල මාගේ පන්ති භාර ගුරුතුමා මාගේ මිතුරකු අත "මේ යකා තාරකට එන්න කියන්නෙ නෑ. උට ඕක මතකත් නැතුව ඇති. මම කිව්ව කියල තාරකට එන්න කියනව" යනුවෙන් පණිවිඩයක් නොඑවන්නට මාගේ පාසැල් ගමනද එතෙකින් නිමා වන්නට බොහෝ දුරට ඉඩ තිබින. උපාධියක් වත් නැතැයි කියන මේ පුද්ගලයා සිටි කාලය තුල පාසැලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පවා නොපැවැත් වූයේ උපාධි කබාය වෙනුවට වැහි කබායක් වත් පැලඳ ඒමේ අදහසින් වැහි දිනයක් එන තුරු කල් බැලූ නිසා බවටද ඒ දිනවල ප්‍රචාරයක් තිබුනි. වසර කීපයක්ම පාසැල කාබාසිනියා කල මොහුගෙන් පාසැල ගලවා ගැනීමට අවසානයේ ආදිශිෂ්‍ය සංගම් නිලධාරීන්ට පිහිට වූයේ අධිකරණයයි. ඉන් පසුව නම් පාසැලට යහපත් කාලයක් ලබා ඇති බව මෑතකදී පාසැල වෙත ගිය මා හට දැක ගන්නට ලැබුනි.
මෙය අධ්‍යාපනය දේශපාලනීකරනය වීමේ එක් කුඩා ප්‍රතිඵලයක් පමණි. මෙවන් සිදුවීම් වලක්වා ගැනීමට අධ්‍යාපන ක්ෂේත්‍රය සහ පාසැල් තුලින් දේශපාලනය බැහැර කිරීමට පාලකයින් පියවර ගන්නේ නම් යහපත් ශීෂ්‍ය පරම්පරාවක් බිහිකර ගත හැකි අතරම සුන්දර පාසැල් දිවිය මෙවන් අද්දැකීම් වලින් අසුන්දර නොවනු ඇති බව මගේ අදහසයි.

Friday, August 21, 2009

දෛවය මෙය නම්.. සුදු අපි නාඬමු...... හමු වෙමු... මතු සංසාරයේ.......

මේ දවස් වල සිංදු ගැන ලියනව වැඩිද මන්දා. මොනව කරන්නද අමතක වෙලා තිබුනු සිංදු ‍මේ ටිකේ මතක් වෙනව. මේත් එයින් එකක්. මට මතක විදියට මේ ගීතය ඇතුලත් වුනේ 1985 වසරෙදි නිශ්පාදනය වුනු සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණය කල "ඔබට දිව්රා කියන්නම්" කියන චිත්‍රපටියෙ. ගායනා කලේ එච් ආර් ජෝතිපාල.

පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේහේ
සැමරුම් කිසිදා මැකී නොයේ
මට අමතක නෑ.. ඔබට මතක නෑ..

ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී
ආදරයක් මිය යාවිදෝ
හදවත ගොළු වී ඔබේ නාමයෙන්
ජීවිතයක් නවතීවිදෝ
මා විමසන්නෙමි කියන්නකෝ මට
කෙලෙසද මේ ලෙස කුරිරු උනේ

මගෙ අත්තටු බිඳ පියා සලාලා
යන්නට ඔබ පැතු චේතනා
ඔබයි දිනූවේ පරාජිතයි මා
මේකද මට දුන් වාසනා
ආදර රේඛා සුසුම් හෙලාවී
කම්පා කරවා මහී තලේ

දෛවය මෙය නම් සුදු අපි නාඬමු
හමුවෙමු මතු සංසාරයේ
කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා
ඇවිලෙන මේ ගිණි මා ලයේ
ඔබ නොව ලඳුනේ මමයි සදාකල්
අසරණ වූයේ කුමාරියේ

මෙතනින් බාගන්න

Wednesday, August 19, 2009

Direct Marketing

පහුගිය සති ඉරිදා අපේ නිවසට ආවා අවුරුදු 20 - 25 විතර කොලු ගැටයෙක්. මාව දැක්ක ගමන් "සර් මම ගාල්ලෙ අහවල් ආයතනයෙ පාඨමාලාවක් හදාරනව, මේ තියෙන භාණ්ඩ වලින් මිලදී ගන්න හැම භාණ්ඩයකටම එක ලකුණ බැගින් ඒකෙ අවසාන පරීක්ෂණයෙදි ලැබෙනව, ඒක නිසා සහයෝගයක් හැටියට මොනව හරි අරගන්න" කියල මනුස්සයා සුපුරුදු හෑල්ල කියවන්න ගත්ත. මම සාමාන්‍යයෙන් ඔය වගේ බොරු කාරයින්ගෙන් කිසිම දෙයක් අරගන්නෙ නැති නිසා මේ ලමයටත් තේරුම් කරල දීල හරවල යැව්වා. ඇයි හත්වලාමෙ පරීක්ෂණයකට ලකුණු ගන්න බඩු විකුණනවා නම් ගාල්ලෙ ඉඳල මෙච්චර දුරක් එන්න ඕනද? ඔය ගමේ හිතවත් කීප දෙනෙකුට කිව්වනම් එක එක ගනියිනෙ.
මට ඒ වෙලාවෙ හිතුන ඇයි මිනිස්සු තමන්ට සහජයෙන්ම ලැබිල තියෙන යම් යම් හැකියාවන් හඳුන ගෙන ඒ ඔස්සේ තම ජීවිතය ගොඩ නගා නොගෙන මේ වගේ බොරු කියල සල්ලි හොයන්න යන්නෙ කියලා. මේ ක්‍රමය හදුන්වන්න යොදා ගන්න Direct Marketing කියන වචනයත් මේකට සුදුසු නෑ මට හිතෙන විදියට. Direct Marketing ක්‍රමේදි මේ වගේ බොරු කතන්දර කියන්නෙ නෑ. මේක නිකන් අර අසනීප වලට බෙහෙත් ගන්න කියල බස්වල සල්ලි එකතු කරනව වගේ වැඩක් මම දකින විදියට.
මිනිස්සු මේ වගේ දේවල් වලට පෙලඹෙන්න යම් තාක් දුරකට අපේ රටේ අධ්‍යාපන ක්‍රමයත් වගකියන්න වෙනව. මොකද දැනටත් අපේ රටේ රැකියා වෙලඳ පල ඉලක්ක කර ශිෂ්‍යයන්ගෙ හැකියාවන් හඳුනාගෙන ශිෂ්‍යයයන් ඒ වෙත යොමු කිරීමේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන නිසා. ගොඩගහ ගත්ත සහතික ප්‍රමාණයට ගැලපෙන රැකියාවක් හොයන අපේ මිනිස්සු තමන්ගෙ හැකියාවනට ගැලපෙන රැකියාවක් හොයන්න පෙලඹෙන දවසට මේ ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙයි කියල මට හිතෙනවා.

Monday, August 17, 2009

සුදු නොමැති ලොවක තනියෙන් හිඳ පලක් නෑ

ය‍මෙකුට යම් දෙයක අගය වැඩිපුරම දැනෙනුයේ තමාට එය අහිමිව ගිය පසුව බව මම අත්දැකීමෙන්ම දන්නා දෙයකි. මෙම ගීතයේ එන " ගල් කැට අතරින් මැණිකක් ඇහිඳීම අසිරුයි........ ඇහිලූ මැණිකද සුරකින එක ඊට අසීරුයි...." යන පද පේලි වඩාත් හදවතට සමීප බවක් දැනෙන්නෙ ඒ නිසා වෙන්න ඇති. මේ ගීත වලට අද බිහිවන රූප පෙලකට වචන ටිකක් දාපු ගීත වලට වඩා සජීවී බවක් තියෙනව කියලයි මට නම් හිතෙන්නෙ. ඒ නිසා තමයි මේ ගීත රූප රචනය නොකලත් ශ්‍රවනය කරන ඔනම වෙලාවක අපේම අතීතය චිත්‍රපටියක රූප පෙලක් වගේ අපි ඉදිරියෙ මවන්න පුලුවන් වෙලා තියෙන්නෙ.

සඳ වැසුනට ඉර ගිලුනට කමක් නෑ
මල් වැටුනට තරු නිවුනට කමක් නෑ
ඔබ ආයෙ දකින තුරු මට ඉවසුමක් නෑ
සුදු නොමැති ලොවක තනියෙන් හිඳ පලක් නෑ

ඔබ නම ඇසුමයි මට ඇති ඉමිහිරි සංගීතේ
සුදු මා ඇමතීමයි මා ඇහු මිහිරිම ගීතේ
ගල් කැට අතරින් මැණිකක් ඇහිඳීම අසීරුයි
ඇහිලූ මැණිකද සුරකින එක එයිට අසීරුයි
සොඳුර එයිට අසීරුයි.......

ඔබ සිටින පාළු සෙහොනක් වුව මට හොඳයි කියා
මම එමි රජදහනක් ලැබු ලෙස හැම සැපක් තියා
මුළු ලොවම අමතකයි ඔබ ලඟ සිටින වෙලාවේ
ඒ මොහොතක මගෙ අවසානය ලඟා වුනාවේ
අවසන් හුස්ම ගියාවේ.............

මෙතනින් බාගන්න

Saturday, August 15, 2009

ඉගිල්ලී වහා යන්නට ඇගේ පැල සොයන්.....

මිල්ටන් පෙරේරාගේ ගීතවලින් මම කැමතිම ගීතයක් තමයි මේ. අහල බලන්න ඇත්තටම ඔයාලටත් කවදකම හරි මෙහෙම හිතිල තියෙනවද කියල.


Sunday, August 9, 2009

මොර - දැකල තියෙනවද?

මොර කියන්නෙ අපේම දේශීය පලතුරක් මම දන්න විදියට. කාලා තියෙන අය දන්නව ඇති ඒකෙ රහ කොහොමද කියලා. ටිකක් රඹුටන් වගේ උනත් මටනම් ඊටත් වඩා රසයි. නමුත් ගෙඩි නම් ඉතාම කුඩාවට තමයි හැදෙන්නෙ. ඒ වගේම තමයි මොර කන්න නම් මාර දුකක් විඳින්න වෙනවා. මොකද මේ ගස් සාමාන්‍යයෙන් අඩි 20 - 30 වුනාට පස්සෙ තමයි ගෙඩි හැදෙන්නෙ. ඒකත් හැදෙන්නෙ අතු අගිස්සෙ. "අතු කඩා මොර කනවා වගේ" කියලා කතාවක් තියෙනවනෙ. මම ජීවිතේටම දැකපු එකම මොර ගහ තියෙන්නෙ අපේ මිදුලෙ. මේ තියෙන්නෙ ඒකෙන් වැටුනු ඉත්තක් පහලින් තියෙන්නෙ ඒ ගහේ පින්තූරයක්. වැඩි පිරිසක් මොර ගැන අහල තිබුනට දැකල නැතිව ඇතිනෙ. ඒ අයට බලාගන්නත් එක්ක තමයි මේක බ්ලොග් එකේ දාන්න හිතුවෙ.



Friday, August 7, 2009

හිරු දුටු පිණි කැට


ටකේ කරේ

මේක මේ අපේ යාළුවෙකුට වුන සිදිධියක්. මේකා ටිකක් විතර මනමාලයා. කෙල්ලන්ව දැලේ දා ගන්න පදුම හැකියාවක් තියෙන්නෙ. ඔන්න එක දවසක් ඔය වගේ කොහේදි හරි සෙට් වෙච්චි ගෑණු පරාණයක් SMS එකක් එවලා. සිංග්ලිෂ් වලින්. මිනිහා ඉතින් යාළුවන්ට ඇහෙන්නත් එක්ක SMS එක කියවන්න ගත්තා. "ඔයාට කොහොමද?....." බ්ලා.... බ්ලා.. බ්ලා.... "මම නවතින්නම්...." කියලා මිනිහා කියවන එක නවත්තලා කල්පනා කරන්න ගත්තා ෆෝන් එක දිහා බලාගෙනම. ටික වෙලාවක් ඉඳලා මිනිහා එකපාරටම කෑගහල ඇහුව "ඒයි මොකද්ද බං මේ ටකේ කරේ කියන්නෙ?...." කියලා. බැලින්නම් කෙල්ල අන්තිමට Take Care කියලා ගහල එවල.

Thursday, August 6, 2009

මාරක අනතුරක්...

Monday, August 3, 2009

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට............

සුනිල් එදිරිසිංහයන් ලයාන්විත හඬින් මේ ගීතය අසන සැම විටම මට නැවතත් මගේ පාසැල් කාලය මගේ ඇස් ඉදිරිපිට මැවෙන්නෙ මේ කතාවට 100% ක්ම සමාන ප්‍රේමණීය අද්දැකීමක් උසස් පෙල කරන කාලෙදි මාත් ලබා තියෙන නිසා වෙන්නැති. එහෙම කිව්වම ඉතින් කතාව නොකිව්වට හිතාගන්න පුලුවන්නෙ. ඒකාලෙ කොහුවල හන්දියෙ පැය ගනන් කාපු කටු මතක් වෙන කොට නම් අමුතුම මිහිරක් දැනෙනවා හිතට. පීටර්සන් පාරෙ තියෙන ලයිට් කණු ටෙලිෆෝන් කණු වලට කතා කරන්න පුලුවන් නම් කතාව කියයි. මේ සිදුවීම වෙලා දැනට අවුරුදු 12 කටත් වැඩි වුනත් තාමත් මතකයෙ තියෙන්න හේතුව තමයි ඒක මගේ පලවෙනි පෙම් කතාව වීම.

Wednesday, July 29, 2009

සමරු පොතේ (new version)


Friday, July 24, 2009

21

කාලෙකට පස්සෙ බලන්න ලැබුණු ටිකක් අමුතු විදියේ කතා තේමාවක් සහිත සිනමා නිර්මාණයක් කිව්වොත් හරි. කතාව ගොඩනැගිල තියෙන්නෙ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයට යන්න ආසාවෙන් ඉන්න ඒත් මුදල් නැති නිසා ශිෂ්‍යත්වයක් බලාපො‍රොත්තු වෙන බෙන් කැම්ප්බල් නම් ශීෂ්‍යයෙක් වටේ. මොහුගේ ගුරුවරයෙකු මගින් හඳුනා ගන්නා පස් දෙනෙකුගේ කණ්ඩායමක් සමග සති අන්ත වලදී රහසිගතව වේගාස් නගරයේ කැසිනෝ ශාලා වලදී Black Jack නැමැති කාඩ් ක්‍රීඩා කිරීම මගින් අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ඉපයීම සම්බන්ධ කතාවක් තමයි සාරාංශය. කතාව ආරම්භ වෙන්නෙ රොබින්සන් ශිෂ්‍යත්වය සඳහා පැවැත්වෙන සම්මුඛ සාකච්ඡාවකින්. එහිදී පැවසෙන පරිදි ශිෂ්‍යත්වය හිමිවන්නේ සවන්දෙන තැනැත්තා අන්දුන් කුන්දුන් කරවන(that will dazzle the recruiter) අන්දමේ ජීවන අද්දැකීම් සහිත කෙනෙකුට බව අවඥා සහගතව බෙන් වෙත පවසන පුද්ගලයා කතාව අවසානයේ ඉන්න විදිහ ඔයාලම බලන්නකො.



මෙතනින් බාගන්න

Thursday, July 16, 2009

රේගු නිලධාරින් එපා කියද්දි මිනිස්සු බලෙන්ම පගාව දෙන්නෙ ඇයි?

අපේ කොම්පැණියට ලැබුනු ඇණවුමකට අදාල අයිතමයේ කොටසක් සත්ව සමකින් නිෂ්පාදනය කර තිබීම නිසා වුනු අකරතැබ්බයක් නිසා තමයි මේක ලියන්න හිතුනෙ. අපේ Export Agent ට කතා කලාම සම් භාණ්ඩ අපනයනය කරනව නම් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ අවසර පත්‍රයක් අවශ්‍ය බව පැවසු නිසා මම කතා කලා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. එතනින් කියපි හරකුන්ගෙ වගේ හමකින් හදපු එකක් නම් බලපත්‍ර අවශ්‍ය නැත වෙනත් කැලෑ සතෙකුගේ හමක් නම් කොහොමත් අවසර දෙන්නේද නැත කියලා. රේගුවෙන් බලපත්‍ර ඉල්ලුවොත් කතා කරන්න කියල ඒ කතා කරපු කෙනාගෙ දුරකතන අංකයත් දුන්නා. ඇත්තටම සතුටු විය හැකි මට්ටමේ සේවයක් එතනින් ලැබුණු බවත් කියන්න ඕන.

මාතෘකාවට අදාල දේ කියන්න හදන්නෙ දැන් තමයි. මට දැන් මේක හතර බීරි කතාවක් වෙලා නිසා ආනයන අපනයන ක්ෂේත්‍රයේ රැකියාව කරන මගෙ යාළුවෙකුට කතා කලා. මිනිහා මට දුන්නා ශ්‍රී ලංකා රේගුවෙ තොරතුරු අංශයෙ දුරකථන අංකය. අයියෝ ගන්නවා ගන්නවා මුන් උස්සන්නෙ නෑනෙ. බැරිම තැන ගියා රේගුවෙ වෙබ් අඩවියට. එතන තිබුන මගේ ප්‍රශ්නෙට අදාල තැන සෘජු දුරකතන අංකයට කතා කලා. ඒක නම් අපරාදෙ කියන්න බෑ එහා පැත්තෙන් කතා කලා මම ප්‍රශ්නෙ බාගයක් කියන කොටම ඒපැත්තෙන් මම නම් මේ ගැන දන්නෙ නෑ ලොක්කෙකුට දෙන්නම් කියල තවකෙනෙකුට දුන්නා. ඔහොම ඉතින් තුන් හතර දෙනෙකුටම මගේ ප්‍රශ්නෙ මුල ඉදන් කිව්ව. අන්තිමටම කතා කරපු කෙනා තමයි උත්තරේ දුන්නෙ. මට මාර ආතල්. දන්නවද උත්තරේ. " මේක අපිට අදාල දෙයක් නෙවෙයි ඔය වෙබ් එකේ දාල තියෙන නොම්මර වැරදියි හරි තැනට කතාකරන්න." මම ඉතින් ආයෙත් අර යාලුව දුන්න නොම්බරේට පැයක් විතර ට්‍රයි කොරල ගත්ත. අරගෙන ප්‍රශ්නෙ කිව්වා. අදාල අංශයට ඇමතුම දැම්මාම තමයි මට තරු පෙනුනෙ. ආයෙත් අර මම මුලින් කතා කරපු සෙට් එකමයි. මම එහෙමම ඇමතුම විසන්ධි කරල. ගත්ත දැඩි තීරණයක්. Export කරද්දි ප්‍රශ්නයක් ආවොත් එතන ඉන්න Custom Officer ට කියක් හරි දීල වැඩේ ගොඩ දා ගන්නව කියල. මේ ගොල්ලො වැඩිය පගාව ගන්නෙ එහෙම නැති නිසා වැඩේ අප්සෙට් වෙන එකක් නෑ. රේගු නිලධාරින් එපා කියද්දි මිනිස්සු බලෙන්ම පගාව දෙන්නෙ ඇයි කියල මම දැන ගත්තෙ අද.

Monday, July 13, 2009

හොඳ මිත්‍ර සමාගමයක් පවත්වා ගැනීමට නම්....

අපේ දුකාගෙ යාළුවො ගැන ලියපු පෝස්ට් එක කියවද්දි මටත් හිතුනා මිත්‍ර සමාගමය පිලිබඳ මගේ අද්දැකීම් ටිකක් පෝස්ට් එකක් විදියට ලියල තියන්න. මම ලගින්ම ආශ්‍රය කරන යාළුවො ඉන්නෙ පස් දෙනයි. එයින් එක්කෙනෙක් ඇරෙන්න අනෙක් හතරදෙනාම පාසලේ යාළුවො. ඒ හතර දෙනාගෙනුත් එක්කෙනෙක් විශේෂයි. මම බණ්ඩාරවෙල ඉඳල මෙහෙ ප්‍රාථමික පාසලකට ආපු වෙලාවෙ (1986) මට මුණගැහුණු ඒ යාළුවා මාත් එක්කම ශිෂ්‍යත්වෙ පාස් වෙලා දෙන්නම ඇතුල් වුනේ එකම පාසැලකට. අනික් හතරදෙනා මුනගැහුනෙ ඊට පස්සෙ. අපි හැමෝගෙම ‍දෙමව්පියන් සහෝදර සහෝදරියන් සියළු දෙනාම අපිව සළකන්නෙ තමන්ගෙම පවුලෙ අය හා සමානව. අපේ අම්මා මට ඒ දවස් වල කියන්නෙ උඹට දැන් අම්මලා ගොඩක් ඉන්නවනෙ කියලා. අපි ඉස්කෝලෙන් කට්ටි පැන්නෙ පාඩම් කලේ හැමදෙයක්ම කලේ එකට. මට අද වගේ මතකයි දවසක් උදේක 135 කැලණිය බස් එකක් පිටිපස්සෙ සීට් පේලි දෙකක් අපි තව හය දෙනෙකුයි වෙන් කරගෙන නටපු පිස්සුවක්. ඒ පාසැල් කාලෙ කරපුවයින් ගොඩ ගියෙ නම් ජෝඩු දෙකයි. මාත් ඇතුළුව අනික් හතරම හබක්..
අපි හය දෙනාගෙ බැඳීම වඩාත් ශක්තිමත් උනේ අපි පාසැල් කාලය ඉවර කරලා තම තමන්ගෙ අරමුණු වෙනුවෙන් තරඟ කරන්න ගත්තට පස්සෙ කියලයි මට හිතෙන්නෙ. මොකද ඒ හැල්මෙ දිවීමෙදි අපි අසරණ වුනු අවස්ථා වල අපි තමයි අපිට හිටියෙ. මට හොඳටම මතකයි 2003 දි මම පිස්සෙක් වෙන තරමටම මානසිකව වැටුණු වෙලාවක මාව ගොඩ ගත්තෙ මේ යාළුවො ටික තමයි. ඊට කලින් මට පන දෙන්න හිටපු යාළුවො ඒ වෙලාවෙ මාව පාරකදි දැක්කත් මගඇරලා ගියත් මේ පස්දෙනා මගේ ලගින් හැමතිස්සෙම හිටියා. 2005 වගේ වෙනකොට එක එක යාලුවා විවාහ වෙන්න ගත්ත දැනට අවිවාහකව ඉන්නෙ මමයි මගේ පරණම යාළුවයි විතරයි. ඒ ඔවුන්ගේ මායියන්ගෙනුත් අපේ සමාගමයට හොඳ සහයක් ලැබෙනව.
මේ පහුගිය කාලය ඇතුලත අපි අතර ප්‍රශ්න ඇති නොවුනාම නෙවෙයි. ඒත් ඒ කිසිම ප්‍රශ්නයකට අපේ මිත්‍රත්වයට උඩින් යන්න බැරි වීම සතුටක්. අපි අපේ මේ මිතුරන් අතරෙ නිහඬව පිලිගත් එකඟතාවන් කීපයක් තියෙනවා
1. කිසිම කෙනෙක් කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවීම. මෙමගින් අපි කරන උදව් ද ගනන් තබා නොගන්නා නිසා හිත් රිදවීම් අඩු වේ.
2. මිතුරන් සැම දෙනාටම තමන් තමන්ම ලෙස හැසිරීමට අවස්ථාව ලබාදීම
3. සෑම දිනකම එක් වරක් වත් දුරකථන ඇමතුමක් දී අනෙක් අය ගැන සොයා බැලීම
4. අවම වශයෙන් මාසයකට දෙවතාවක් අපි ගෙවල් වලින් පිට නිදහස් තැනකදි මුනගැසීම. තම තමන් අතින් වුනු වැරදි ,තම තමන්ගෙ ප්‍රශ්න සහ අනාගත සැලසුම් ගැන සාකච්ඡා කිරීම තමයි මේ හමුවීමෙ ප්‍රධානම අරමුණ
5. අවුරුද්දකට දෙවතාවක් කොහේ හෝ චාරිකාවක් යෑම. මෙයින් එකක් අනිවාර්යෙන්ම අවුරුදු නිවාඩුවෙදි යා යුතුයි. ඒක අනිවාර්යෙන්ම අවමය දවස් තුනයි.
6. උත්සව අවස්ථාවලදී මෙන්ම ශෝකජනක අවස්ථා වලදීත් මිතුරා ලගින්ම සිටිමින් අවශ්‍ය දේ සොයා බැලීම

මෙන්න මේ විදියට තමයි අපි අපේ සමාගමය පවත්වා ගන්නෙ. මේ සමාගමය අපි ජීවත්ව සිටින තුරාවටම මෙසේම පවත්වා ගන්න තමයි අපේ අදහස. මේක කියවල මගේ අනික් යාලුවො තරහ වෙන එකක් නෑ කියල හිතනවා ඒ අය ගැන කිව්වෙ නෑ කියලා. ඇත්තටම ඒ අය කරපු උදව් ඔක්කෝම මට හොඳට මතක තියෙන නිසා තරහ වෙන්න දෙයක් නෑ.

Sunday, July 12, 2009

මං විතරද?

අහන්න

Sunday, July 5, 2009

සදාදරණීය ජෝති

එච් ආර් ජෝතිපාල එහෙමත් නැත්නම් ජෝති අපෙන් සමුගෙන ඊයේ (04/07/2009)ට වසර 22කි. එදා ඔහු ජීවත්ව සිටියදී කසිකබල් පීචං ගායකයකු ලෙස හැදින්වූ ප්‍රබුද්ධ යයි කියා ගන්නා අයට ඔහුගේ අගය වැටහුනේ ඔහු මියෑදුනාට පසුවය. එදා ඔහු මිය යන විට මට වයස අවුරුදු නවයක් වුවද වසර 22කට පසු අදත් මගේ ජනප්‍රියම ගායකයා ඔහු වීම ගැන මම කියන්නෙ ආඩම්බරයෙන්. ජෝති ගැයු ගීත බොහොමයක් හින්දි ගී තනු වලට ගැයූ ඒවා වුවත් එම ගීත අසන විට අපට ඒ බවක් මතකයට නොඑන තරමටම ලයාන්විතව ඔහු ගායනා කලේය. ඊටත් වඩා ඔහු සතුව තිබූ සුවිශේෂම දෙ නම් ඔහුගේ කට හඬයි. චිත්‍රපට ගීත ගායනයේදී ඔහුගේ හඬ ඕනෑම නලුවෙකුට ගැලපුනේය. දැනට මා දන්නා තරමින් එවන් හඬක් ඇත්තේ ග්‍රේෂන් ආනන්දට පමණි. ඔහු මියැදුනාටත් පසුව මෙලොව එලිය දුටුවන්ද සුපර්ස්ටාර්ලා වීමට ජෝතිගේ ගී ගැයීමම ඔහු කොතරම් රසික සිත් ඇද බැඳ ගත්තා දැයි කීමට ප්‍රමාණවත්ය. හදිසියේ තබන මේ කෙටි සටහන ඒ අසහාය ගායකයාට පිදෙන උපහාරයක්ම වේවා!



Saturday, July 4, 2009

Hindi Vs Sinhala



Friday, July 3, 2009

නොමිලේ Mail Server එකක්?

ඔබට අයිතිව ඔබේම ඩොමේනයක් (Domain) තිබේ නම් දැන් ඔබටම කියා ඊමේල් සර්වරයක් නොමිලේම ලබාගන්න හැකියාව තියෙනව. එමගින් ඔබට අමතර වියදම් දැරීමකින් තොරව you@yourdomain ආකාරයේ ඊමේල් ලිපින උපරිමය 50ක් දක්වා නොමිලේම ලබා ගත හැකියි. මෙම සේවාව අප වෙත ලබා දෙන්නෙ සුප්‍රසිද්ධ ගූගල් සමාගම මගින් සපයන google apps සේවාව මගිනුයි. මෙය දැන් බොහෝ කාලයක සිට සිට ලබා දෙන සේවාවක් නිසා සමහර විට දැනටමත් ඔබ මේ ගැන දන්නවාත් ඇති. නමුත් google apps වෙබ් අඩවියට ඇතුලු වූ විට දැන් මෙම නොමිලේ ලබා දෙන සේවාව ගැන සඳහනක් නැතිම කරම්. ඒකට හේතුව තමයි ඔවුන් ඔවුන්ගේ මෙම සේවාව Corporate සහ Standard වශයෙන් කොටස් දෙකකට බෙදා ඔවුන්ට වැඩි ලාභ ගෙන දෙන Corporate සේවාව පමණක් ප්‍රවර්ධනය කිරීම. නමුත් මෙතනින් ඔබට පුලුවන් Standard සේවාව ලබා ගන්න. ඔබට අවශ්‍ය වෙන්නෙ ඔබේ පාලනය යටතේ පවතින ඩොමේන් නාමයක් පමණයි. මෙම සේවාව Gmail මගින් සක්‍රිය කර ඇති නිසා Gmail හිදී ලැබෙන ආරක්ෂාව වගේම Google calendar, Google docs ආදී සේවාවනුත් නොමිලේම ලැබෙන අතරම මෙය POP3 සහ IMAP සඳහාද සහාය දක්වනවා. ඔබට කරන්න අවශ්‍ය වෙන්නේ ඔබේ ඩොමේනය google apps සමග ලියාපදිංචි කිරීමෙන් පසු ඔවුන් ලබා දෙන සර්වර් ලිපින (Server Addresses) ඔබේ ඩොමේනයේ පරිපාලක පුවරුවේ ඇති MX record එක ලෙස ලබාදීම පමණයි. ඉන් පසු උපරිමය 50ක් දක්වා ඔබට අවශ්‍ය පරිදි ඊමේල් ලිපින නිර්මාණය කර ගත හැකියි.

Thursday, July 2, 2009

හිත ගිය සිංදු දෙකක්

මේ හිංදි සිංදුව Saathi චිත්‍රපටියෙ තමයි තියෙන්නෙ. සිංහල එක ඒ හිංදි සිංදුවෙ තාලෙටම තමයි මිල්ටන් පෙරේරා කියල තියෙන්නෙ.



Wednesday, July 1, 2009

Spiceworks

මාතෘකාව දැකල වැරදියට හිතන්න එපා මේ කියන්න යන්නෙ කුළුබඩු සම්බන්ධ කතාවක් නම් නෙවෙයි. මේ කියන්න හදන්නෙ නොමිලේ ලබා දෙන Network Management මෘදුකාංගයක් ගැන. මේකෙ User Friendly ගතිය වැඩියි Wireshark වලට වඩා. ඒ වගේම පහසුකම් අතිනුත් වැඩියි මට හිතෙන විදියට. ඒත් පොඩි කොස්සක් තියෙනව. මේක අපේ පරිගනකයට ස්ථාපනය කලාට ක්‍රියාත්මක කරන වෙලාවට අන්තර්ජාලය හරහා ඔවුන්ගේ සර්වරයක් සමග සම්බන්ධ වෙමින් තමයි වැඩ කරන්නෙ. ඒසඳහා ලියාපදිංචි වීමෙදි අපේ පරිගනක ජාලය සඳහාAdministrator rights තියෙන පරිශීලක ගිණුමක් මුරපදයත් සමග ඔවුන්ට ලබා දෙන්න වෙනව. මම නම් කලේ වෙනමම Admin ගිණුමක් හදල ඒක අක්‍රිය(Disable) කරල තියන එක. අවශ්‍ය වෙලාවට ඒක සක්‍රිය කර ගන්නව.මෙම මෘදුකාංගය මගින් ඔබේ පරිගනක ජාලය සිතියම් ගත කිරීම / එක් එක් පරිගනකය භාවිතා කරනු ලබන Bandwidth එක බලා ගැනීම ආදී සේවා රැසක්ම ඉතා පහසුවෙන් ලබාගන්න පුලුවන්. වැඩි විස්තර මෙතනින්.

Sunday, June 28, 2009

රළ බි‍ඳෙන හඬයි රෑ යාමේ ඈත ඇසෙන්නේ...

අද අරමුණක් නැතුව අන්තර්ජාලයෙ අතරමං වෙලා ඉන්න අතරෙ සිංදුවක් හොයන්න හිතුන. අන්තිමට හොයා ගත්ත. මේ සිංදුව මීට කලින් මම ජීවිතේටම අහල තියෙන්නෙ දෙවතාවයි. ඒකත් ප්‍රයිවෙට් බස් එකකදි. අන්තිම පාරට ඇහුනෙ මීට අවුරුදු හය හතකට කලින්. මේ සිදුවීමම නොවුනත් මීට බොහෝ දුරට සමාන පෞද්ගලික අද්දැකීමක් (තහනම් පෙමක් නම් නෙවෙයි) තියෙන නිසා වෙන්න ඇති මගේ හිතට මේ තරම් තදින් මේ සිංදුව කාවැදුනෙ. මේක ගායනා කරල තියෙන්නෙ ආසිරි ප්‍රියන්ත කියල කෙනෙක්. මට ලැබුනු MP3 ගොණුවෙ Audio Quality එක නම් සතුටුදායක නැහැ.

Thursday, June 25, 2009

Porn Site සඳහා සරල පිලියමක්



ලංකාව තුල ක්‍රියාත්මක අන්තර්ජාල සේවා මගින් අසභ්‍ය වෙබ් අඩවි වෙත පිවිසීම නීතියෙන් තහනම් කර බොහෝ කලක් ගියත් තවමත් ඒක ක්‍රියාත්මක වෙලා නම් නෑ. ඉතින් ‍හුඟ දෙනෙක් මේවා නවත්වන්න කරන්නෙ සල්ලි දීලා Parental controlling software ස්ථාපනය කර ගන්න එක. ඒවත් දැම්ම පලියට වැඩ කරන්නෙ නෑ tuneup කරන්නත් වෙනව. මේ කියන්න යන්නෙ නොමිලේම tuneup කරලම අපිට මේ සේවය ලබා දෙන තැනක් ගැන.


මේකෙ නම ScrubIt . කරන්න තියෙන්නෙ අපේ අන්තර්ජාල සබඳතාවයෙ DNS address එක විදියට මේ අයගෙ DNS Server Address දෙන එක විතරයි. හැබැයි අනික් කිසිම DNS Server Address එකක් වත් මේ සමග යෙදුවොත් නම් වැඩේ අල වෙනව. හරිම සරලයි. වැඩි විස්තර මෙතනින්. තාක්ෂණික දැනුම අඩු අයට මේක කර ගන්න DNS Config Utilityකකුත් තියෙනව මේ අඩවියෙ.





Wednesday, June 24, 2009

මගේ අලුත් Theme එක

මට බ්ලොග් එකේ තිබුනු theme එක දැකලම ඇති වෙලා අලුත් එකක් හෙව්වා දාන්න. ඒත් හරියන එකක් හම්බවුනේ නම් නෑ. මොනවා කරන්නද මේ දාල තියෙන එක තමයි ටිකක් හිතට ඇල්ලුවෙ. ඒත් ඒකත් අප්සෙට් වගේ කියල හිතෙනව. ඔයාලට මොනාද හිතෙන්නෙ මේ theme එක ගැන. හොඳ theme download කරගන්න තැනක් දන්නව නම් කවුරු හරි කිව්වොත් ලොකු උදව්වක්. ටිකක් uncommon theme එකක් නම් ‍වඩා හොඳයි. හොඳ එකක් ලැබෙනකම් මේකම ඇඳගෙන ඉන්නව.

Tuesday, June 23, 2009

අපි ආයේ දවසක.......

මේ සිංදුව කියන්නෙ කවුද කියල නම් දන්නෙ නෑ මම. Youtube එකේ තමයි තිබුනෙ. හිතට ටිකක් දැනුනු නිසා බ්ලොග් එකේ දාන්න හිතුනා. අහලම බලන්නකො.

Wednesday, June 17, 2009

18 වෙනිදා

18 කියන්නෙ මගෙ ජීවිතේ වැදගත් සිද්ධීන් කීපයක්ම සිදු උනු දිනයක්. මම හා හා පුරා කියල මුලින්ම රැකියාවකට කියල ගියෙ 1999 ජනවාරි 18, ඒකෙන් අස් වුනේ 2001 දෙසැම්බර් 18. ඔය අතරෙ පෙම්වතියක් හමු ‍උනා 2001 මැයි 18 (දැන් නම් කවුරුත් නෑ). දෙවෙනි රස්සාවට ගියෙ 2002 ජනවාරි 18. මගෙ රියදුරු බලපත්‍රය ලබා ගත්තෙ 1999 පෙබරවාරි 18. මම මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ 1978 ජූනි 18 වෙනිද නිසා ඒ ඔක්කොටම වඩා 18 මට වැදගත්.

ඒ කියන්නෙ හෙටට මට අවුරුදුම 31 සම්පූර්ණ වෙනව. මේ අවුරුදු 31 පුරාවටම ලබපු අද්දැකීම් සිහියෙ තියාගෙන ඉදිරි කාලෙ ගෙවන්න තමයි හිතන් ඉන්නෙ. පහු ගිය කාලය දෙස හැරිල බලන කොට දුක සතුට දෙකම සමබරව නොදැනෙන්නෙ ඇයි කියල නම් හිතා ගන්න අමාරුයි. වෙලාවකට දුක වැඩියි. වෙලාවකට සතුට වැඩියි. හැබැයි කවුරු හරි මට අවස්ථාවක් දුන්නොත් අතීතයට ගිහින් මට වැරදුනු තැන් ගැන නැවත සිතා බලන්න මට හදාගන්න තැන් බොහොමයක් වගේම ජීවිතය පුරාවටම දුක දැනුනත් වෙනස් කරන්න බැරි අන් අය වෙනුවෙන් ගනිපු තීරණත් දෙක තුනක් තියෙනව. මගේ ජීවිතේ ඉස්සරහට මහ මෙරක් තරමට බලාපොරොත්තු නම් නෑ. ‍ඉපදුනු දවසෙ ඉදන් හදපු වඩපු දෙමාපියන්ට සලකන එක තමයි තියෙන ලොකුම බලාපොරොත්තුව. ඒ අතරතුරේ ජීවිතේ ගලාගෙන යයි. අපි බලන් ඉමු.


Wednesday, June 10, 2009

මා තනි නොකරන් සබද


Wednesday, June 3, 2009

මට උනු හදියක්


සතියක් තිස්සෙ එක දිගටම වැඩ කරල අද තමයි නිදහස් උනේ. මුලින්ම උනේ අපේ මේල් සර්වර් IP එක black list වෙන්න ගත්ත එක. හේතුව තමයි මේ සදහා යොදාගෙන තිබුනු ADSL සබදතාවයම අන්තර්ජාල භාවිතය සදහාත් යොදා ගැනීම. නෙට්වර්ක් එකේ මොකක් හරි පරිගනකයකින් ස්පෑම් යවනව. අන්තිමට ඒක හොයා ගත්තෙ Wireshark කියන මෘදුකාංගය භාවිතා කරල. මේ tool එකින් නෙට්වර්ක් එකක හැම පරිගනකයක්ම භාවිතා කරන sevices / ports වෙන වෙනම බලාගන්න පුලුවන්. කොහොම හරි ආසාදනය වුනු පරිගනක දෙක තුන හොයාගෙන සුද්ද කලා කියමුකො හොදම හරිය උනේ ඊට පස්සෙ.
ඔය වැඩ අතරෙ PDC (Primery Domain Controller) එකටත් කෙල උනා. ඒකට හරි ගියෙත් මාස දෙක තුනකට කලින් ගත්තු backup එකක්. ඉතින් ඒ backup එක ගත්තට පස්සෙ ජාලයට එකතු කරපු users ලා සේරම අලුතින් හදන්න උනා. ඒ හදපු ගිනුමෙන් පරිනක වලට ලොග් වෙන කොට settings ඔක්කොම වෙනස් වෙලා Documents / Email මොනවත් නැහැ. අලුත් ගිණුම හදන කොට SID එක වෙනස් වෙන නිසා වෙනම user profile එකක් හැටියට තමයි පෙන්වන්නෙ. Windows Xp වල තියෙන file and settings transfer wizard එකට මේ වගේ දේකට කරන්න දෙයක් නෑ. නමුත් පරණ settings / Documents / Email ඔක්කොම user profile එකක් විදියට තියෙනවා. අන්තිමට ටිකිරි මොලේට ආව අදහසක් ක්‍රියාත්මක කලා. පරිගනකයට Admin විදියට ලොග් වෙලා පරණ profile එකේ ඔක්කොම files / folders අලුත් profile එක උඩින් කොපි කරලා අදාල user ගෙන් ලොග් වෙලා බැලුවා. යන්තම් වැඩේ ගොඩ.

Tuesday, May 26, 2009

අපි ආයෙත් හමු නොවුනා නම්

අපි ආයෙත් හමු නොවුනා නම්
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යලි ඉපදී මා හද රිදවන්නට
අපි ආයෙත් හමු නොවුනා නම්........

ඔබ නොහඳුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි
හුග කලකින් හමු වී සෝ ලතැවුල්
අදත් විඳින්නේ මා පමණයි.........


සමු ගන්නට නම් අහිමි ආදරෙන්
මේ ලෙස ඇයි අප හමු වන්නේ
ආදරයේ කඳුළින් මිය යන්නද
ජීවිත ඉරණම විසඳෙන්නේ.......

Friday, May 22, 2009

දුර ඈත අතීතයෙ..

ජීවිතේ අපි කැමති තැනක ඉදන් නැවත පටන් ගන්න අවස්ථාවක් ලැබුනොත් ඔයගොල්ලො මොකද කරන්නෙ. එහෙම අවස්ථාවක් නොලැබුනාට මම නම් කැමතියි අපේ ජීවිතයටත් , පරිගනකයට වගේ Undo එකක් තිබුන නම්. මේ සිංදුවෙන් කියන්නෙත් ඒ වගේ දෙයක්. අහල බලන්නකො.


Wednesday, May 20, 2009

Taking Chance | හිතන්න දෙයක්


මුලින්ම අපේ හමුදාව ලබා ගත්තු ජයග්‍රහණයට සුභ පතන්න ඕන. මගේ ගෙවුනු ජීවිත කාලය පුරාවටම තිබුනු යුද්ධය දැන් අවසන්. මම මතක ඇති කාලෙකින් ගෙදරින් පිටවෙන කොට ගිහින් එන්නම් කියලා අම්මට කියලා නෑ. හැමදාම කිව්වෙ මම යනවා කියල විතරයි. ඒත් දැන්නම් ගිහින් එන්නම් කියල කියන්න පුලුවන්. මේ ජයග්‍රහනය ලබාගත් අපේ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ටත්, කවදාවත්ම මගෙන් ඡන්දයක් නොලබපු ජනාධිපති තුමන්ටත් මගේ ප්‍රනාමය මෙසේ සටහන් කරනව.


ඇත්තටම මම මේක බලන්න පෙලඹුනේ අපේ බ්ලොග් කියවනයෙ තිබුනු සටහනක් දැකලා. අපි යුධ ජයග්‍රහනය සමරන වෙලාවෙ බලපු මේ film එක මට නම් හිතන්න ගොඩාක් දේ ඉතුරු කලා. කතාව..ඇමරිකන් හමුදාවෙ ඉහළ නිළයක් දරණ පුද්ගලයෙක් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනව යුද්ධයෙන් මැරුම්කන සෙබලුන්ගේ මිණී ඔවුන්ගේ ගෙවල් වෙත අරගෙන යාමට. ඒහිදී ඔහුගේ මනස වැඩකරන හැටි,ඔහුට හමුවන පුද්ගලයන් ඔහුට සලකන හැටි ආදිය තමයි මේකෙන් අපිට බලන්න තියෙන්නෙ.

Sunday, May 10, 2009

මරණයට මා ලං කරන නුඹ

---------------------------------------------------------

Monday, May 4, 2009

Lipton’s Seat

කාලෙක ඉදන් යන්න හිතන් හිටපු තැනක්. ගිය සති අන්තෙ මට යන්න ලැබුනා. මෙතෙන්ට Lipton’s Seat කියන නම ලැබිලා තියෙන්නෙ ලංකාවේ තේ කර්මාන්තයේ පුරෝගාමියෙක් වෙන තෝමස් ලිප්ටන් මහතා තමන්ගේ තේ වගාව නිරීක්ෂණය කිරීම සදහා නැරඹුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කල නිසා යැයි කතාවක් පවතී.
මා මෙම ස්ථානයට ලගාවූ හපුතලේ සිට දඹේතැන්න වතුයාය හරහා වැටී ඇති මාර්ගයට අමතරව , බණ්ඩාරවෙල සිට නායබැද්ද වතුයාය හරහාද තවත් මාර්ගයක් වැටී ඇත. විශාල බෑවුම් සහිත මාර්ගය තරමක් අවදානම් සහිත වේ. වඩාත්ම අවදානම් කොටස වන්නේ ගමනේ අවසන් කිලෝමීටරයක පමණ දුර ප්‍රමාණයයි. එම තොටස පෞද්ගලික තේ වත්තක් මැදින් වැටී ඇති අතර මාර්ගය තාර හෝ කොන්ක්‍රීට් යොදා නොමැති බැවින් වැහි දින වලදී අවදානම තවත් වැඩි වේ. වාහන නැරඹුම් ස්ථානය වෙතම ගෙන යා හැකි වුවත් අවසන් දුර ප්‍රමාණය එම මාර්ගය හුරු රියදුරකු සමග යාම වඩාත් යෝග්‍ය වේ. මේ කොටසට වාහනයක් ඇතුල් කරන්න රු.100/= ක් අය කරනවා.

මීදුම නොමැති දිනවලදී මෙතැනට ලංකාවේ පලාත් පහක් පැහැදිලිව දර්ශනය වන බව පැවසේ. අවාසනාවට මා එහි ලගා වනවිට පලාතම මීදුමින් වැසී අවසානය.

Tuesday, April 28, 2009

තවත් එක ප්‍රේම කතාවක්

අපේ ජීවිතේදි අපි ආදරය කරන අයත් සමග මුලු ජීවිත කාලෙම ගෙවන්න ලැබෙන්නෙ කොටසකට පමණයි. නමුත් එහෙම බැරි උනාට උනුන්ට තියෙන ආදරය නම් වෙනසක් වෙන්නෙ නෑ. මේ ඒ වගේ කතාවක්. කියන්නෙ මාලනී බුලත්සිංහල සමග ගුණදාස කපුගේ.

Monday, April 13, 2009

ලබන්නා වූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද සැමටම කිරියෙන් පැණියෙන් ඉතිරේවා.........

නොනගතේ ලැබුවට පස්සෙ තමයි ඔන්න නිදහසක් ලැබුනෙ කට්ටියට සුභ පතන්න. ඔෆිස් එකේ ඊයෙත් වැඩ (මම විතරක්) . අපේ Mail Server එක කවුරු හරි ආක්‍රමණය කරලා. සැක කරන්න ඉන්නෙ එක්කෙනයි. ඊයෙ පෙරේදා එක්කෙනෙක්ව රස්සාවෙන් අස්කරන්න මම මූලික උනා. එයා තමයි මට සැක. මගේ සැකේ වැරදි වෙන්නත් පුළුවන්. යන්තම් ඊයෙ හවස් වෙනකොට වැඩේ ගොඩ දා ගත්තා. ඊට පස්සෙ ගෙදර රාජකාරි. නොනගතේ ලබනකම්ම ඒව තමයි.
කොහොම හරි මගේ මේ බ්ලොග් එක ලියන්න අරන් දැන් මාස හයක් ඉවරයි. සමහර වෙලාවට මම ලියන දේවල් අනිත් අයට විකාර වගේ පේනවද කියලත් වෙලාවකට හිතෙනවා. ප්‍රතිචාර අඩු වෙනකොට. ඒත් හිට් කවුන්ටරෙයි ෆලෝවර්ස්ලා ගානයි වැඩි වෙන කොට ටිකක් හිත හැදෙනවා. මේවත් කියවන අය ඉන්නවා කියලා. ඉතින් මේ මාස හයට මගෙ බ්ලොග් එක කියවපු හැමෝටම බොහොමත්ත ස්තූතියි මාව දිරිමත් කලාට. ඒ වගේම ලබන්නා වූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද සැමටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

Thursday, April 9, 2009

අවසර යුවතිය ඈ වෙත යන්නට..!

අවන් හලේ දැල්වෙන පහන් එලි අතරින් නැගෙන දුම් රැලි අතර දිලිසුනු නෙත් යුවලක් මා අභියස නතර වි ඇත. මා ප්‍රිය සොදුර අමතක කර මේ දෙනෙතින් කරනා ආරාධනයට කෙසේ නම් අවනත වන්නද. නුඹේ පහසට වඩා ඇගේ නොදිලෙන නෙත් යුග තුලින් දකින ආදරය වටිනා නිසා මා හට යන්නට අවසර දෙනු මැන.

Wednesday, April 1, 2009

හප්පා යාන්තම් ඇති අද නිවාඩු

හප්පා යාන්තම් ඇති දවස් 16කට පස්සෙ නිවාඩුවක් ගත්ත. හැම අවුරුද්දෙම මේ කාලෙට මේ වගේ තමයි. සංචාරකයො වැඩිපුර එන්නෙ මේ කාලෙටනෙ. සාමාන්‍යයෙන් අවුරුද්දෙ නොවැම්බර් ඉදන් ඊලග අවුරුද්දෙ මැයි විතර වෙනකම් සංචාරකයො වැඩිපුර එනවා. ඊට පස්සෙ නුවර පෙරහැර කාලෙට ටිකක් වැඩිපුර එනවා. ඒ අතරතුර ඉතින් වාරකන් තමයි. ඉතින් සංචාරකයො එන කාලෙට ෆුල් බිසී. දත් කීයක් කියල ගලවන්නද? හික්.. හික්... හැබැයි කවුරු මොනවා කිව්වත් දැන් සංචාරකයන්ගෙ පැමිණීමෙ අඩුවක් තියෙනවා. එන අයගෙ අතෙත් ඉස්සර වගේ මුදල් නෑ. නමුත් මේකට හේතුව යුද්ධය නම් නෙවෙයි. මම හිතන්නෙ ලෝකෙම මුහුණ දීලා ඉන්න ආර්ථික පසුබෑම වෙන්න ඕන.
ඊයෙ නුවර යන්න වුනා එහෙ සර්වර් එකේ ප්‍රශ්නයක් වෙලා. යනකොට ගිය වාහනේ හදිසියෙම මඩකලපුවෙ යන්න වුනා අපේ මුස්ලිම් සගයෙක්ගෙ අම්මා අන්තරා වෙලා. ‍‍ගෙදර අම්මා විතරක් නිසා මම වාහනේ මඩකලපු යවලා බස් එකේ එන්නම් කියලා 3.30ට විතර ආවා ටවුමට. මල කෙලියයි බස් නෑ. ස්ට්‍රයික් එකක්ලු. නුවර ඉදලා එන නගරාන්තර දුම්රියත් 3.00ට පිටත් වෙනවනෙ. අපරාදෙ මඩකලපු ගියානම් හොදයි දැන් කෙහොමත් නුවර නවතින්න වෙනවනෙ කියල හිත හිත ඇවිදගෙන දුම්රියපල ලගට ආවම කවුද කියනව ඇහුනා ඉන්ටර්සිටිය අද ලේට් කියලා. මාත් නිකමට ඇතුලට ගිහින් බැලුවා. මරේ මරු ඇත්තටම ඉන්ටර්සිටිය තියෙනවා. මාත් ඉතින් ඉක්මනට ටිකට් එකක් අරන් දුම්රියට ගොඩ වුනා. අවුරුදු තුනකට පස්සෙ බස් එකක යන්න තිබුනු චාන්ස් එක නැති උනාට ඊට වඩා හොද චාන්ස් එකක් ලැබුනනෙ.
දුම්රියෙ ගමන ඇත්තටම හරිම සුන්දරයි. සුන්දර දර්ශන බොහොමයක් දැක්කත් කැමරාව අතේ නොතිබුන නිසා ඒ ලස්සන බෙදා ගන්න ක්‍රමයක් නම් නැතිඋනා. ඒ එනකොට දැකපු එක දර්ශනයක් මට මගේ පොඩිකාලෙ මතක් කලා. දුම්රිය වෙල් යායක් මැදින් එන වෙලාවක ( ප්‍රදේශය නම් දන්නෙ නෑ ) ඒ අසල ලිදක දිය නාමින් හිටපු පුද්ගලයෙක් බොහොම සන්තෝසෙන් අපිට අත වැනුවා. මට මතක් උනා මම බන්ඩාරවෙල හිටපු කාලෙ tourist බස් එකක් දැක්කාම අපිත් ඒ වගේ අත වනපු හැටි. ඒ කාලෙ නම් පොඩි ලමයි අත වනන කොට සංචාරකයො ටොෆි චොකලට් එහෙම දීල යනවා. කොහොම කොහොම හරි 6.30 වගේ වෙනකොට කොටුවෙන් බැහැල රෝද තුනක නැගල ගෙදර ගියා. කාලා නිදාගත්තු පාර අද හවස 4.00 වෙනකන් හිතේ හැටියට නිදා ගත්තා.
මේ දාලා තියෙන්නෙ නුවර පැත්තෙ මලක් එහෙම නෙවෙයි මේ අපේ වත්තෙ පිපුණු එකක්. කියන්නෙ නම් ගොඩ මානෙල් කියලා. ලස්සන වගේම තමයි සුවදත්.

Thursday, March 26, 2009

නිමා නොවුනු පෙම් හැගුම්

බසයක හමුවී නෙතගින් කරපු කතා
වදන් වෙලා ඇසුමට ටික කලක් ගියා
ආඩම්බර කමට මුලදී බැහැ කියලා
හා කියන්නෙ නැතුවම නුඹ කැමති උනා

බස් නැවතුමේ පෙම් මුළු වල කරපු කතා
පාළු මාවතේ නැවතී කියපු කතා
මල් වතු වල තුරු ගොමුවේ එතුනු ලතා
වල්මත් උනා නුඹෙ ආලය ගැනම සිතා

දැනගෙන නුඹේ මුල් පෙම මේ නොවන වග
පැතුවෙමි නුඹේ අවසන්‍ පෙම මා වෙන්න
මගෙ මුල් පෙමට බැරිවුනි නුඹ නවතන්න
පවස නුඹේ හැකි කාටද සංසිදලන්න

අවසන් සැදෑවට ආවේ නුඹ සමුගන්න
කීවෙනි පෙම්වතා සමගද පවසන්න
එනමුත් නොහැක නුඹ මතකය ගිණිලන්න
නුඹ එනතුරු ලතවෙමි විත් සනසන්න

Wednesday, March 25, 2009

Widows 7 සහ Virtual Hard Disk

ඔන්න ඉතින් පරිගනකයට අත තියපු දවසෙ ඉදල වින්ඩෝස් හොරට පාවිච්චි කරපු මාත් දැන් Genuine වින්ඩෝස් පරිශීලකයෙක්. ඒත් ඉතින් මේකත් නොමිලෙ දීපු නිසා තමයි. අගෝස්තු වෙනකම් හොරෙක් නොවී වින්ඩෝස් පාවිච්චි කලහැකි. ඇත්තටම මේක කලින් ආපු සංස්කරණ වලට වඩා හුගක් ජනප්‍රිය වෙයි කියල හිතෙනව. මේක ඒ තරමටම සිම්පල්. ඒ වගේම පද්ධතියෙ ස්ථාවරත්වය හා ආරක්ෂාව අතිනුත් ඉදිරියෙන් තියෙනව. මේ මම අහු මුළු වල රිංගන කොට අහුවුන windows 7 වල පමණක් තියෙන අංගයක්.

ඒ තමයි VHD ඒ කියන්නෙ virtual hard disk ගොනු මේකෙදි local hard disk එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් වීම. (ඉස්සර නම් virtual machine එකක්ම ඕනනෙ මේ වැඩේට). හරිම සිම්පල්. කරන්න තියෙන්නෙ මේ රූප සටහන් වල විදියට disk management එකට ගිහින් add vhd කියන සබැදුම තෝරල එතනින් virtual hard disk ගොනුව විවෘත කර දීම විතරයි. ආපහු අයින් කරන්න නම් detach vhd කියල තෝරන එක විතරයි. ඒ විතරක් නෙවෙයි වෙනත් virtual machine එකක පාවිච්චියට ගන්න පුලුවන් විදිහට virtual hard disk නිර්මාණය කරන්නත් මෙමගින් පුලුවන්.

1 open disk management – right click and select attach vhd


2 show the path to your vhd



Thursday, March 19, 2009

සමාධි

කාලෙකට පස්සෙ පොතක් කියෙව්ව. පොතේ නම සමාධි. ලියල තියෙන්නෙ එඩ්වඩ් මල්ලවආරච්චි. පෙරේත කමට එක හුස්මටම කියවල දැම්ම. කතාව ටිකක් විතර බොලදයි. ඒත් හොදයි. ජීවිතේට ටිකක් සමීප බවක් දැනුන. මේකෙ මගෙ හිතට වැදුනම කොටස තිබුනෙ පසු පිටේ (පින්තූරෙ නෙවෙයි සටහන)

.
ඇයි කියල දන්න අය දන්නවා. ඒ අතරෙ ඒකෙන්ම මගෙ යාළුවෙකුටත් උත්තරයක් දෙන්න හිතුනා.
මම නිකම් ඉන්න ගමන් මගෙ නම ගූගල්ට දාලා බැලුවා මෙන්න ආපු එක ප්‍රතිඵලයක්

ඇත්තටම මෙක දාපු කෙනා මගෙ ලගම යාලුවෙක් වෙන්න ඕන. මොකද ඒකට දාලා තියෙන විද්‍යුත් ලිපිනය දන්න අය ඉන්නෙ කීපදෙනයි. මගෙ නලලෙ තියෙන හම්ප් එකවත් මම බල්ලන්ට පූසන්ට කැමති එකවත් ආදරය කරන්න බාධාවක් නෙවෙයි. උඹ මේක දැම්මට තවම කව්රුවත්ම මාව බයිට් එකට ගත්තෙ නෑ. මොකද මේව බලන උන් උඹ වගේ සීනි බෝග ලෝකෙවල ජීවත් නොවෙන නිසා. මම මෙහෙම ඉන්නෙ ඇයි කියන එක උඹලා සේරම වගේ දන්නවා. මතක නැත්නම් මම මුලින් කියපු පොතේ පිට කවරෙ තියෙන සටහන කියවපං. එතකොට මතක් වෙයි. මොනා උනත් ගොඩාක් ස්තූතියි මට ප්‍රසිද්ධියක් අරන් දෙන්න වෑයම් කලාට. යාලුවෙක් වගේ ඉදන් මෙහෙම ‍පෙ_ _ _ වැඩ කරන්නෙ නැතුව පුලුවන්නම් පිරිමියෙක් වගේ ඇවිත් මට ගහල බලපන්.

Tuesday, March 17, 2009

මොහොතක් සැගවෙමු ලොවින් මුවාවී .....

මට ලගදි, කුලරත්න ආරියවංශයන් රචනා කරපු ගීත එකතුවක් ලැබුනා. මේ ඒකෙ කිබුනු මගේ හිතට වැදුනු එක් ගීයක්.ගායනා කරන්නෙ නම් කව්ද කියල හරියටම දන්නෙ නෑ. ඒත් මේක මාව අතීතයට අරන් ගියා ඒකයි ලියන්න හිතුනෙ. ආදරය කරන කාලෙදි කාටවත් නොපෙනෙන්න අපි දරන උත්සාහය ඇත්තටම සාර්ථක උත්සාහයක් නෙවෙයි. කව්රුම හරි දකිනවනෙ. මේ ගීතයෙනුත් කියවෙන්නෙ පෙම්වතුන් යුවලකගෙ ඒ වගේ අහිංසක පැතුමක් ගැන.

Saturday, March 14, 2009

ජීවිතෙන් දවසක්

කාලෙකට පස්සෙ අද මට හිතේ හැටියට දවස ගෙවල දැම්ම. හැම සති අන්තයකම රගපාන්න වෙන මාමාගේ චරිතෙ අද ඕන වුනේ නෑ. අද අක්කල ආවෙ නෑ. මේ දවස් වල ගේ කඩාගෙන අලුත්වැඩියා කරන නිසා දූවිලි නාගෙන තමයි ඉන්නෙ. අද ටිකක් දූවිලි ඇවිස්සෙන වැඩ තිබුන නිසා අක්කලට එන්න එපා කිව්ව. පොඩ්ඩො දෙන්න අසනීප වෙයි කියල. ඒත් ටිකක් විතර දෙන්න නැති පාලුව දැනුනා. හවස අක්කගෙ පුතා කතා කරල අඩනව මෙහෙ එන්න ඕන කියලා. මොනවා කරන්නද පොඩි අයට තේරෙන්නෙ නෑනෙ. ඉතින් බැරිම තැන මම හෙට එයාව බලන්න එනව කියල පොරොන්දු උනාම තමයි ඇඩිල්ල නැවතුනෙ. දුව මේ ලගදි දවසක තමයි මුලින්ම මාමා කියල කතා කලේ. එවෙලෙ නම් හරි ආස හිතුන. දැන් ඉතින් හැමදාම සති අන්තය ගෙවෙන්නෙ ගොඩක් වෙලාවට ඒ දෙන්නත් එක්ක. ඉතින් මට ඕන විදියට දවල්ට ටිකක් නිදාගන්න, රූපවාහිනිය බලන්න ලැබෙන්නෙ නෑ. අද නම් හිතේ හැටියට ඒ දෙකම කලා.
හවස ගියා ජයවර්ධනපුර රෝහලට. යාලුවෙක්ගෙ තාත්තව බලන්න. වකුගඩු අමාරුවකට රෝහල් ගත කරල. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් වතුර බීම තමයි ලෙඩේට හේතුව. මාත් වැඩිය වතුර නොබොන නිසා මටත් ටිකක් බය හිතුනා. මීට පස්සෙ ටිකක් වැඩිපුර වතුර බොන්න හිතා ගත්ත. අපි වැඩිය නොහිතුවාට වතුර ටිකක් වැඩිපුර බීම ශරීර සෞඛ්‍යට හොදයි.
ආපහු ගෙදර එනකොට යාළුවෙක් මුණගැහුනා. මිනිහා ටිකක් කලකිරීමෙන් තමයි කතා කලේ. ටිකක් කතා කරගෙන යනකොට තමයි එයාගෙ ප්‍රශ්නෙ කිව්වෙ. එයයි බිරිදයි අතරට තුන්වෙනියෙක් ඇවිත්. නමුත් කතාව සම්පූර්ණයෙන්ම ඇහුවාම මට තේරුන දේ තමයි මේ පුද්ගලයාව යාළුවගෙ බිරිද ආශ්‍රය කරල තියෙන්නෙ යාළුවෙක් කියල හිතාගෙන. මිනිහාගේ හිතේ තිබුනු කැත අදහස දැනගෙන ඉදලා නැහැ. නමුත් ඔහු ඇයට තර්ජනය කරලා තියෙනව ඔහුට ඕන නම් ඇයයි සැමියයි වෙන් කරන්න පුලුවන් කියල. කිව්ව වගේම ඔහු මගෙ යාළුවගෙ හිතේ ඇය ගැන සැකයක් ඇති කරවලා. දැන් දෙන්න දෙතැනක. සැකය කියන්නෙ මහා භයානක දෙයක්. මේ දෙන්න බදින්න කලින් අවුරුදු 8ක් විතර ආදරය කලා. මොහොතකට උපදින සැකයකට අවුරුදු ගානක ආදරය අමතක කරන්න පුළුවන් නම්............ !

Thursday, March 12, 2009

ආදරය සහ තනිකම

විඳින්න

Monday, March 9, 2009

රාජ උදහසින් ගැලවෙන්නට කල අරුම පුදුම කාව්‍යයය

මේ කියන්නට යන්නේ ඔබටත් මටත් හුරු පුරුදු සාමාන්‍ය ගණයේ කවියක් ගැන නම් නොවේ.මේ කවියේ විශේෂත්වය වන්නේ කවි තුනකින් කවි දොළහක් කියවිය හැකි අපූර්ව නිර්මාණයක් මේ කවිය තුල ගැබ්ව තිබීමයි.අදත් පුරාණ විහාරයක දොර පත්තක දක්නට ලැබෙන “බාරස කාව්‍යය” නම් මේ කාව්‍යයය පිටුපස ඇත්තේ රසවත් කතාවකි.
මේ අති දුෂ්කර ප්‍රහේළිකාමය කාව්‍ය බන්ධනය නිසාම එහි රචකයා වන කරතොට කීර්ති ශ්‍රී ධර්මාරාම හිමියෝ අක්කර දහතුන් දහසකට අධික පල්ලේබැද්ද ගම්වරය ඇතුළු රාජ්‍ය වරප්‍රසාද රැසක්ම ලබාගත්හ.
මේ කවේ ඇති විශේෂත්වය වන්නේ මෙම කවි තුන වමේ සිට දකුණටද , දකුණේ සිට වමටද, ඉහල සිට පහලටද, පහල සිට ඉහලටද කියවිය හැකි වීමයි. ඒ සෑම අවස්ථාවකදීම විශේෂණ පද රැසක් මගින් බුදුන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් භුද්ධාභිවන්දනයක යෙදේ. පුදුමය නම් ඉදිරියට කියවාගෙන ගිය ගොණුවක් ආපසු කියවන විටදී වෙනත් තේරුමක් ගෙන දෙන සේ සකස් කර තිබීමයි.
කරතොට නම් ග්‍රාමය පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ හක්මන - බෙලිඅත්ත මාර්ගයෙන් හැරී මද දුරක් ගිය විටය. ධර්මාරාම හිමියන්ගේ පියා දොන් දාවිත් විජේසිංහ නම් විය. මව බාල එතනා අබේසුන්දර සමරකෝන් විය. 1735 දී උපන් ධර්මාරාම හිමි , හේරගම්පිට විහාරාධිපති කදුරුපොකුණේ ස්වර්ණජෝති හිමිගේ ආචාර්යත්වයෙන් පැවිදි විය. අනතුරුව වැලිවිට අසරණ සරණ සරණංකර හිමි වෙතින් ධර්ම ශාස්ත්‍රය ඉගෙනීම පිණිස මහනුවර මල්වතු විහාරයට වැඩම කොට එවකට පැවති සියලුම උගතමනා ශිල්පයන් හදාරා අග්‍රගණ්‍ය පඩි රුවනක් බවට පත්විය.
1783 දී ධර්මාරාම හිමියනට ශ්‍රී පාදස්ථානයේ නායක පදවියද, පහතරට සංඝනායක පදවියද ශ්‍රී පාද අඩවියට අයත් වේහැල්ලේ තඹ සන්නස සහ ඇත්දළ ජෝඩුව ද රාජසිංහ රජු විසින් පිරිනමා තිබුණු බව සදහන් වේ.
ඊට වසර දෙකකට පසු 1785 දී යම් හේතුවක් නිසා රාජ උදහසට ලක්වීමෙන් කරතොට නාහිමියන් සිර අඩස්සියට පත්ව කටුගස්තොට ප්‍රදේශයේ අප්‍රසිද්ධ දිවියක් ගත කරන ලදී. හිස රැවුල්කැපීමටද තහනම් කරනු ලැබූ උන් වහන්සේ දැඩි මානසික පීඩනයකට ලක්ව සිටියහ.
එවකට මල්වතු විහාරයේ නැවතී සිටිමින් ධර්ම ශ්‍රාස්ත්‍ර ඉගැන්වූ අත්තරගම බණ්ඩාර මැතිතුමාද කරතොට හිමියන්ගේ ධර්මාචාර්ය වරයෙකි. කරතොට හිමිගේ වටිනාකම දන්නා බැවින් මෙතුමා, කරතොට හිමියන් සිර අඩස්සියෙන් මුදවාලීමට විවිධ ක්‍රම සොයමින් සිටින අතරම සාහිත්‍ය ලෝලියකු වූ රාජාධිරාජසිංහ රජු පැහැදවීම සදහා වූ කාව්‍ය ප්‍රබන්ධයක් කලොත් එය රජුට ඉදිරිපත් කල හැකි යයි ධර්මාරාම හිමිට පණිවිඩයක් යැවීය. එම පණිවිඩය යවා කීප දිනකින් “බර කව ගබ සක” නම් වූ දුෂ්කර ප්‍රබන්ධය රජු අතට පත්විය.
එවකට සිටි කිසිම ගිහි පැවිදි පඩිවරයෙකුට එකී ප්‍රබන්ධය කියවීමටවත් තේරුම් කරදීමටවත් නොහැකි වූ බැවින් රජතුමා කරතොට නාහිමියන් රාජ සභාවට කැදවාගෙන එන ලෙස ඇමතිවරයකු යැවීය
රාජ සභාවට පැමිණි නාහිමියෝ තම කෘතියේ ඇති කවි තුනෙන් කවි දොළසක් කියවා ඒවායේ අරුත් වන මුනි ගුණ වැනුම වටහා දුන්හ.
කරතොට හිමිගේ නිර්මාණ ශක්තියට හා පාණ්ඩිත්වයට අතිශයින් පැහැදුණු රජතුමා නාහිමියන් හිරෙන් මුදවා පල්ලේබැද්ද නින්දගම හා ශ්‍රී සංඛපාල විහාරයද තුඩපතකින් සහ සන්නසකින් 1786 දී පුජා කරන ලදී.

උපුටා ගැනීම - ඇඹිලිපිටියේ ඩේවිඩ් බමුණුගම නම් කෙනෙකු සිංහලයා වෙබ් අඩවියට ලියු ලිපියක් ඇසුරින් සහ පෞද්ගලිකව දන්නා තොරතුරු ඇසුරිනි.

Grab this Widget ~ Blogger Accessories