Tuesday, December 29, 2009

2010 - අලුත් ගමනක ආරම්භයක්

හැම අවුරුද්දෙම අන්තිමට කරනව වගේ අදත් මගෙ කාර්යාලයෙ මගේ වැයික්කිය අස්පස් කරන්න පටන් ගත්තා. ඒත් පොඩි වෙනසක් තියෙනව කලින් අවුරුදු වලට වඩා. වෙනදට මම අස්පස් කරන මේසේ පුටුව කබඩ් ලිපිගොණු සේරම ජනවාරි පලවෙනිදට මාව පිලිගන්න බලන් ඉන්නවා. ඒත් ලබන ජනවාරි පලවෙනිදට ඒවා වෙනත් කෙනෙකුට භාර දෙන්න වෙනවා කියල තාමත් මගෙ හිත පිලිගන්නෙ නෑ. ආයතනයෙන් වෙන් නොවුනත් පුරුදු රස්සාව දාල යන්න වෙනව කියල හිතන කොටත් මහා දුක් මුසු හැඟීමක් හිතට එනවා. කලින් ලිපියකත් මම ඉඟි කරල තිබුන පිම්ම පනින්නයි මේ අස්පස් කරල සූදානම් වෙන්නෙ. පහු ගිය දවස් ටිකේ මගේ රාජකාරි භාරගන්න ආපු කෙනාව පුරුදු පුහුණු කරන එකටම කාලෙ ගතවුනා. හැම දේටම වඩා දුක හිතෙන්නෙ කවදාවත් රස්සාවකට පිට රට යන්නෙ නෑ කියල හිතාගෙන අතටම ආපු අවස්ථාත් බොහොමයක් අතෑරපු මම මේ සූදානම් වෙන්නෙ ලංකාව දාල යන්න කියල හිතන කොට තමයි. අලුත් තැනැත්තාව පුහුණු කරලාට පස්සෙ මගේ පුහුණු කාලය ආරම්භ වෙනවා. ඒ අපේ ආයතනයේම නුවර ශාඛාවට අනුබද්ධිතව. පුහුණුව අතර තුර අන්තර්ජාලයට පිවිසීම බොහෝම සීමා සහිත වෙයි. පුහුණුවෙන් පස්සෙ විදේශ රටක පිහිටි ආයතනයේම ශාඛා ජාලයසම්බන්ධව පත්වීම භාර ගන්න වෙනවා ලබන අවුරුද්දෙ මැද භාගය වෙන කොට. මෙතෙක් කල් මා රාජකාරී කල විෂය ක්ෂ්‍රේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම පරිභාහිර විෂය ක්ෂ්‍රේත්‍රයකට සම්බන්ධව මට උසස්වීමක් ලැබීම තමයි මේ සේරටම හේතුව. කොහොම උනත් මා ගැන ආයතනය තැබූ විශ්වාසය බිඳක්වත් පලුදු නොකර ලැබෙන රාජකාරිය අකුරටම ඉටු කිරීමට තමයි හිතාගෙන ඉන්නෙ.
ඉතින් අපි අලුත් අවුරුද්දක අලුත් විදියට ආයෙත් මුනගැහෙමු. එතෙක් ලබන්නා වූ 2010 අවුරුද්ද සියලු දෙනාටම සියලු සිතුම් පැතුම් ඉටු වන සුභම සුභ අලුත් අවුරුද්දක්ම වේවා...........

Saturday, December 26, 2009

මාත් ඔහොම ගිය හැටි මතකයි..........

"අර කෙල්ලගෙ බෙල්ල හිර වෙලා මැරෙනව අර තුරුලු කරන් යන විදියට.."

"ආ... දැන්ද ඒක තේරෙන්නෙ.. ඒ කාලෙ මාව තුරුල් කරන් යන කොටත් දැකපු මිනිස්සු ඔය විදියටම කියන්න ඇති..."

මේ මගේ මිතුරෙකුත් ඔහුගේ බිරිඳත් අතර පේරාදෙණිය මල් වත්තේදී මා ඉදිරිපිට ඇතිවූ දෙබසක්. මෙය ඇසීමත් සමග මාව ගොලු වෙලා පාසැල් කාලය වෙත මතකය දිව ගියේ නොදැනිම වගේ. මේ මිතුරාත් මාත් දෙදෙනාම පෙම්වතියන් සමග පේරාදෙණිය මල් වත්තට ආ ගමනත් ඇතුලුව සොඳුරු මතක රැසක් මා ඉදිරිපිට මැවුනේ චිත්‍රපටයක රූපරාමු පෙලක් මෙනි. ඇත්තටම අපටත් ඒ කාලෙ මිනිස්සු එහෙම කියන්න ඇති නේද?
ඒ උසස් පෙල කරන කාලයේ ගියාට පසු මාත් මිතුරාත් මල් වත්තට ආ පලමු අවස්ථාව මෙය වීමත් ඔහුට ඇය හා විවාහ වී ඔවුන්ගේ දියණිය සමගත් එදා පෙම්වතිය සමග එහි ගිය මා අද තනිවමත් පැමිනීම දෛවයේ සරදමක්ද කියලත් හිතුන කීප වරක්ම. ඒ වගේම මගේ හිතට ආපු දෙයක් තමයි අද මම මේ දකින කුරුළු ජෝඩු වලින් කී දෙනෙක් එකට කූඩු වෙන්න වාසනාව ලබයිද, කී දෙනෙක් මම වගේ තනි වෙයිද කියන එක.

ආදරය කියන්නෙ හරිම පුදුමාකාර දෙයක්. මිනිස්සු වෙනස් වුනාට කාලය වෙනස් වුනාට ආදරය හැමදාම එක වගේ කියල මට හිතෙනව.

මේ සියලුම සිදුවීම් අස්සෙ අමරදේව ශූරීන්ගෙ ගීයක කොටසක් තොලග මිමිනෙන්න පටන් ගත්තෙ නිකම්ම වගේ...

" සිරි පොද වැස්සේ එකම කුඩය යට ...
තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ.....
මාත් ඔහොම ගිය හැටි මතකයි..
මට හොඳ හැටි මතකයි........."

Tuesday, December 15, 2009

මා හට දී ඔයා ඈ සුර ලොව ගියා

අපේ ගෙවල් කිට්ටුව හිටපු මගේ වයසෙම යෙහෙලියක් මීට අවුරුදු කීපයකට පෙර මියගියා යම්කිසි රෝගයක් නිසා. ඒවෙනකොට එයාට මාස කීපයක් වයස දරු පැටියෙකුත් හිටියා. ඊට පස්සෙ ඇයගෙ සැමියා මේ දරුවත් එක්ක තනියෙම ජීවත් වුනා. අපි හැමෝටම කලයත් එක්ක ඒකත් තවත් එක සිදුවීමක් පමණක්ම වුනා. දැන් මේ දරුව ටිකක් ලොකුයි. පෙර පාසැල් යන්නත් පටන් අරන්. හැමදාම උදේට තාත්තත් එක්ක අහිංසක විදියට ඉස්කෝලෙට යන මේ දරුවව දකින හැම වෙලාවෙම මේ ගීතය මගේ මතකෙට එනවා. මේක ගායනා කරල තියෙන්නෙ කේ. සේන කියල ගායකයෙක්. මගේ හිතට වැදුනු සංවේදීම ගීත වලින් එකක් තමයි මේ.

Wednesday, December 9, 2009

තව ටිකක් කල් දෙන්න..

Monday, December 7, 2009

ඇත්තටම ලිනකස් වල වෛරස් නැත්ද?

මට මේක ලියන්න හිතුනෙ e-Asia 2009 බලන්න ගිය වෙලාවෙ දැකපු (අහපු) දෙයක් නිසා. e-Asia 2009 ගැන නම් ලියන්න දෙයක් නෑ. ගියපු අය දන්නව ඇතිනෙ. මේකයි කතාව. ප්‍රදර්ශනේ බලාගෙන බලාගෙන ගිහින් මමත් මගේ මිතුරාත් ලිනක්ස් වලට සම්බන්ධ කුටියක් අසල නැවතුනේ අළුත් යමක් තියෙයි කියල හිතාගෙනයි. ඇත්තටම අළුත් දෙයක් තිබුනා. තෙල් බේත් කාරයෙක් ලිනක්ස් විකුණනවා. සමහරු පැන පැන CD ගන්නවා. internet එකෙන් නිකම් ගෙදරට එවන එක මුන් විකුණනවා කියලත් සමහරු කතා වෙනව ඇහුනා. ඒත් ඒ විකුණපු එකට මම මොකුත් කියන්නෙ නැහැ. මොකද ඔවුන් ලිනක්ස් CD එක විකුණුවෙ Training CD එකක් එක්ක. ඒත් විකුණපු ක්‍රමේ තමයි වැරදි.

එතනදි මට තේරුන දෙයක් තමයි මේ CD මිලදී ගත්තෙ බොහෝ දෙනාට ලිනක්ස් ගැන නිසි අවබෝධයක් තිබුනෙ නෑ කියන එක.

එක් නරඹන්නෙක් ලිනක්ස් වල තියෙන විශේෂත්වය මොකද්ද කියලා ඇහුවම මේ තෙල් බේත් කාරයා කියපු කතාව ඔහුගේ වචන වලින්ම මෙහෙමයි...

"මේකට වෛරස් එන්නෙ නෑනෙ... වෛරස් එන්නෙ නෑ..."

"ඔයාලගෙ පෙන් ඩ්‍රයිවර්ස් බය නැතුව ගහන්න පුලුවන්.. මොකුත් වෙන්නෙ නෑ....."

ලිනක්ස් වලයි වින්ඩෝස් වලයි තියෙන ප්‍රධානම වෙනස්කම මේකද? ඇත්තටම ලිනක්ස් වලට වෛරස් එන්නෙ නැද්ද. නැත්නම් වෛරස් ආවට ලිනක්ස් ඉලක්ක කරගෙන වෛරස් ලියවෙනවා අඩුද?

අපි ඇත්ත කතා කලොත් තාමත් ලංකාවෙ පරිගනක පරිශිලකයන් වැඩි දෙනෙක් භාවිතා කරන්නෙ වින්ඩෝස් හොර කොපි.ඉතින් ඔය වෛරස් නෑ කියන ලිනක්ස් තියෙන පරිගනකයක ඉඳල File එකක් වින්ඩෝස් තියෙන පරිගනකයකට දාල බලන්න තියෙන වෛරස් පුමාණය.

මට මේ කතාව ඇහුන වෙලේ මතක් උනේ මේ සිංහල බ්ලොග් අවකාශේ ඉන්න අපේ සහෝදරයො සමහර වෙලාවට අතිනුත් වියදම් කරගෙන FOSS ප්‍රචලිත කරන්න දරන වෑයම. ඒ වගේම තමයි ඔවුන් කිසිම වෙලාවක මේ ලිනක්ස් වලට වෛරස් එන්නෙ නැති කතාව උලුප්පලා කියන්නෙ නෑ. වෙන්න ඕනෙත් ඒකයි නවකයින්ව නොමග නොයවා හරි දේ කියා දී හරි මග යැවීමයි.

මේකෙන් කාගෙ හරි හිත රිදුන නම් සමා වෙන්න ඕන.

Grab this Widget ~ Blogger Accessories