Wednesday, August 26, 2009

වසර 12 කට වැඩි මගේ පන්ති තහනම

පාසැලක විදුහල්පතිවරයකු විසින් ශිෂ්‍යයෙකු වෙත පැමිණිය හැකි උපරිම දඬුවම සති දෙකක පන්ති තහනමක් බව රූපවාහිනී නාලිකාවකින් අසන්නට ලැබුනු බැවින් මෙය ලිවීමට සිත්විය. මා ශිෂ්‍යත්ව විභාගය සමත්වී අගනුවර ජාතික පාසැලකට ඇතුලත් වූවකි. 1989 වසරේ පාසැලට ඇතුලත් වන විට සැබවින්ම ගුරු පියකු වූ එවකට සිටි විදුහල්පති තුමා මා පාසැලට ඇතුලත්ව වසරක් යාමට මත්තෙන්ම විශ්‍රාම ගියේය.
ඉන් පසු විදුහල්පති ලෙස පත්ව ආවේද සුදුසුකම් හා අත්දැකීම් වලින් අනූන ගුරු පියෙකි. එතුමාගේ සේවා කාලය වසර දෙක තුනකට නොවැඩි වුවත් ඒ කාලය තුල අප පාසැලේ ශීෂ්‍යයන් කිනම් තැනකදී වුවද මේ අසවල් පාසැලේ ශිෂ්‍යයෙක්ය ලෙස හඳුනා ගත හැකි වන ලෙස පාසැල් විනය මගින් අපහට අනන්‍යතාවයක් ගොඩ නගා දුන්නේය. මෝසා යනුවෙන් සිසුන් අතර ප්‍රසිද්ධ වූ, අඩි පහක් තරම්වත් උස නොවූ ඔහු වෙත අප එදා දැක්වූයේ බයක්ද, ගෞරවයක්ද යන්න අදටත් ප්‍රහේලිකාවක් වන්නේ ඔහු තරමක් දරුණු පාලකයකු ලෙස ප්‍රසිද්ධව සිටියත් ඔහු සේවයෙන් විශ්‍රාම යන දා අප සියළුදෙනාගේම නෙතට කඳුලක් මතුවූ බැවිනි. "පුතාල මට මෙච්චර ආදරෙයි කියල දන්නව නම් මම මේතරම් ඉක්මනට විශ්‍රාම යන්නෙ නෑ" යනුවෙන් එදා ඔහු පැවසූ වදන් අදත් අප සියළුදෙනා තුලම අදටත් වරදකාර හැඟීමක් නිතැතින්ම ඇතිකරයි. ජාත්‍යන්තර පාසැල් වල විනය පිලිබඳව කතා කරන විය දැනට ඔහු විසින් කොලඹ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර පාසැල ජාතික පාසැලකටත් වඩා ඉදිරියෙන් ඇති බව පැවසිය යුතුමය.
ඉන්පසු විදුහල්පතිවරයෙකු නොමැතිව වසරකට වැඩි ගන්ධබ්භ කාලයක් ගෙවූ පාසැලට කනකොකා හඬන්නේ එවකට සිටි අධ්‍යාපන ඇමතිගේ හෙංචයියකු වූ වනාතමුල්ල ප්‍රදේශයේ පාසැලකින් පන්නා දැමූ පුද්ගලයකු අප පාසැලේ විදුහල්පති ලෙස පත්වීමත් සමගය. ඔහුගේ මුල්ම රාජකාරිය ලෙස ඔහු සිදුකලේ එවකට අප විවේකයක් ලද විටෙක දුව පැන ඇවිදින ලද පාසැල තුලම වූ ගුරු නිවාසය අවට වූ තුරු සෙවන වටකොට තාප්පයක් බැඳ ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා වෙන්කර ගැනීමයි. සාමාන්‍යයෙන් උදෑසන දහයෙන් පමණ පසු ඔහු පුරුද්දක් ලෙස බීමත්ව සිටි බවද නොරහසකි. මේ මා උසස්පෙල හදාරන කාලයයි. එකල අපහට සිටි හොඳම ගුරුවරුන් බොහොමයක් මොහුගේ නොමනා ක්‍රියා හේතුවෙන් පාසැල හැරගිය බවද නොරහසකි. සිසුන් පිරිසක් විසින් යම්කිසි හේතුවක් නිසා කරන ලද වාර විභාග වර්ජනයක කොටස් කරුවකු ලෙසට, අසනීප තත්වයක් හේතුවෙන් විභාගයට නොපැමිණි මාද අසු වන්නේ මේ අතරය. මවිසින් අදාල වෛද්‍ය වාරතා ඉදිරිපත්කල පසු මේ පුද්ගලයා "තමුසේ Cadet කෙනෙක් නේද" යි විමසා " ආයෙත් මම දන්වල එවනකම් ඉස්කෝලෙ එන්න එපා" කියා පැවසුවත් දැනට අවුරුදු 12 කටත් වැඩි කාලයක් ගෙවී ගොසිනුත් තවමත් මාහට පාසැල් එන්න යයි ඔහු විසින් දන්වා එව්වේ නම් නැත. වැරැද්ද මා ශිෂ්‍ය භටයකු වීමය. මගේ වාසනාවකට එකල මාගේ පන්ති භාර ගුරුතුමා මාගේ මිතුරකු අත "මේ යකා තාරකට එන්න කියන්නෙ නෑ. උට ඕක මතකත් නැතුව ඇති. මම කිව්ව කියල තාරකට එන්න කියනව" යනුවෙන් පණිවිඩයක් නොඑවන්නට මාගේ පාසැල් ගමනද එතෙකින් නිමා වන්නට බොහෝ දුරට ඉඩ තිබින. උපාධියක් වත් නැතැයි කියන මේ පුද්ගලයා සිටි කාලය තුල පාසැලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පවා නොපැවැත් වූයේ උපාධි කබාය වෙනුවට වැහි කබායක් වත් පැලඳ ඒමේ අදහසින් වැහි දිනයක් එන තුරු කල් බැලූ නිසා බවටද ඒ දිනවල ප්‍රචාරයක් තිබුනි. වසර කීපයක්ම පාසැල කාබාසිනියා කල මොහුගෙන් පාසැල ගලවා ගැනීමට අවසානයේ ආදිශිෂ්‍ය සංගම් නිලධාරීන්ට පිහිට වූයේ අධිකරණයයි. ඉන් පසුව නම් පාසැලට යහපත් කාලයක් ලබා ඇති බව මෑතකදී පාසැල වෙත ගිය මා හට දැක ගන්නට ලැබුනි.
මෙය අධ්‍යාපනය දේශපාලනීකරනය වීමේ එක් කුඩා ප්‍රතිඵලයක් පමණි. මෙවන් සිදුවීම් වලක්වා ගැනීමට අධ්‍යාපන ක්ෂේත්‍රය සහ පාසැල් තුලින් දේශපාලනය බැහැර කිරීමට පාලකයින් පියවර ගන්නේ නම් යහපත් ශීෂ්‍ය පරම්පරාවක් බිහිකර ගත හැකි අතරම සුන්දර පාසැල් දිවිය මෙවන් අද්දැකීම් වලින් අසුන්දර නොවනු ඇති බව මගේ අදහසයි.

Friday, August 21, 2009

දෛවය මෙය නම්.. සුදු අපි නාඬමු...... හමු වෙමු... මතු සංසාරයේ.......

මේ දවස් වල සිංදු ගැන ලියනව වැඩිද මන්දා. මොනව කරන්නද අමතක වෙලා තිබුනු සිංදු ‍මේ ටිකේ මතක් වෙනව. මේත් එයින් එකක්. මට මතක විදියට මේ ගීතය ඇතුලත් වුනේ 1985 වසරෙදි නිශ්පාදනය වුනු සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණය කල "ඔබට දිව්රා කියන්නම්" කියන චිත්‍රපටියෙ. ගායනා කලේ එච් ආර් ජෝතිපාල.

පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේහේ
සැමරුම් කිසිදා මැකී නොයේ
මට අමතක නෑ.. ඔබට මතක නෑ..

ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී
ආදරයක් මිය යාවිදෝ
හදවත ගොළු වී ඔබේ නාමයෙන්
ජීවිතයක් නවතීවිදෝ
මා විමසන්නෙමි කියන්නකෝ මට
කෙලෙසද මේ ලෙස කුරිරු උනේ

මගෙ අත්තටු බිඳ පියා සලාලා
යන්නට ඔබ පැතු චේතනා
ඔබයි දිනූවේ පරාජිතයි මා
මේකද මට දුන් වාසනා
ආදර රේඛා සුසුම් හෙලාවී
කම්පා කරවා මහී තලේ

දෛවය මෙය නම් සුදු අපි නාඬමු
හමුවෙමු මතු සංසාරයේ
කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා
ඇවිලෙන මේ ගිණි මා ලයේ
ඔබ නොව ලඳුනේ මමයි සදාකල්
අසරණ වූයේ කුමාරියේ

මෙතනින් බාගන්න

Wednesday, August 19, 2009

Direct Marketing

පහුගිය සති ඉරිදා අපේ නිවසට ආවා අවුරුදු 20 - 25 විතර කොලු ගැටයෙක්. මාව දැක්ක ගමන් "සර් මම ගාල්ලෙ අහවල් ආයතනයෙ පාඨමාලාවක් හදාරනව, මේ තියෙන භාණ්ඩ වලින් මිලදී ගන්න හැම භාණ්ඩයකටම එක ලකුණ බැගින් ඒකෙ අවසාන පරීක්ෂණයෙදි ලැබෙනව, ඒක නිසා සහයෝගයක් හැටියට මොනව හරි අරගන්න" කියල මනුස්සයා සුපුරුදු හෑල්ල කියවන්න ගත්ත. මම සාමාන්‍යයෙන් ඔය වගේ බොරු කාරයින්ගෙන් කිසිම දෙයක් අරගන්නෙ නැති නිසා මේ ලමයටත් තේරුම් කරල දීල හරවල යැව්වා. ඇයි හත්වලාමෙ පරීක්ෂණයකට ලකුණු ගන්න බඩු විකුණනවා නම් ගාල්ලෙ ඉඳල මෙච්චර දුරක් එන්න ඕනද? ඔය ගමේ හිතවත් කීප දෙනෙකුට කිව්වනම් එක එක ගනියිනෙ.
මට ඒ වෙලාවෙ හිතුන ඇයි මිනිස්සු තමන්ට සහජයෙන්ම ලැබිල තියෙන යම් යම් හැකියාවන් හඳුන ගෙන ඒ ඔස්සේ තම ජීවිතය ගොඩ නගා නොගෙන මේ වගේ බොරු කියල සල්ලි හොයන්න යන්නෙ කියලා. මේ ක්‍රමය හදුන්වන්න යොදා ගන්න Direct Marketing කියන වචනයත් මේකට සුදුසු නෑ මට හිතෙන විදියට. Direct Marketing ක්‍රමේදි මේ වගේ බොරු කතන්දර කියන්නෙ නෑ. මේක නිකන් අර අසනීප වලට බෙහෙත් ගන්න කියල බස්වල සල්ලි එකතු කරනව වගේ වැඩක් මම දකින විදියට.
මිනිස්සු මේ වගේ දේවල් වලට පෙලඹෙන්න යම් තාක් දුරකට අපේ රටේ අධ්‍යාපන ක්‍රමයත් වගකියන්න වෙනව. මොකද දැනටත් අපේ රටේ රැකියා වෙලඳ පල ඉලක්ක කර ශිෂ්‍යයන්ගෙ හැකියාවන් හඳුනාගෙන ශිෂ්‍යයයන් ඒ වෙත යොමු කිරීමේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන නිසා. ගොඩගහ ගත්ත සහතික ප්‍රමාණයට ගැලපෙන රැකියාවක් හොයන අපේ මිනිස්සු තමන්ගෙ හැකියාවනට ගැලපෙන රැකියාවක් හොයන්න පෙලඹෙන දවසට මේ ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙයි කියල මට හිතෙනවා.

Monday, August 17, 2009

සුදු නොමැති ලොවක තනියෙන් හිඳ පලක් නෑ

ය‍මෙකුට යම් දෙයක අගය වැඩිපුරම දැනෙනුයේ තමාට එය අහිමිව ගිය පසුව බව මම අත්දැකීමෙන්ම දන්නා දෙයකි. මෙම ගීතයේ එන " ගල් කැට අතරින් මැණිකක් ඇහිඳීම අසිරුයි........ ඇහිලූ මැණිකද සුරකින එක ඊට අසීරුයි...." යන පද පේලි වඩාත් හදවතට සමීප බවක් දැනෙන්නෙ ඒ නිසා වෙන්න ඇති. මේ ගීත වලට අද බිහිවන රූප පෙලකට වචන ටිකක් දාපු ගීත වලට වඩා සජීවී බවක් තියෙනව කියලයි මට නම් හිතෙන්නෙ. ඒ නිසා තමයි මේ ගීත රූප රචනය නොකලත් ශ්‍රවනය කරන ඔනම වෙලාවක අපේම අතීතය චිත්‍රපටියක රූප පෙලක් වගේ අපි ඉදිරියෙ මවන්න පුලුවන් වෙලා තියෙන්නෙ.

සඳ වැසුනට ඉර ගිලුනට කමක් නෑ
මල් වැටුනට තරු නිවුනට කමක් නෑ
ඔබ ආයෙ දකින තුරු මට ඉවසුමක් නෑ
සුදු නොමැති ලොවක තනියෙන් හිඳ පලක් නෑ

ඔබ නම ඇසුමයි මට ඇති ඉමිහිරි සංගීතේ
සුදු මා ඇමතීමයි මා ඇහු මිහිරිම ගීතේ
ගල් කැට අතරින් මැණිකක් ඇහිඳීම අසීරුයි
ඇහිලූ මැණිකද සුරකින එක එයිට අසීරුයි
සොඳුර එයිට අසීරුයි.......

ඔබ සිටින පාළු සෙහොනක් වුව මට හොඳයි කියා
මම එමි රජදහනක් ලැබු ලෙස හැම සැපක් තියා
මුළු ලොවම අමතකයි ඔබ ලඟ සිටින වෙලාවේ
ඒ මොහොතක මගෙ අවසානය ලඟා වුනාවේ
අවසන් හුස්ම ගියාවේ.............

මෙතනින් බාගන්න

Saturday, August 15, 2009

ඉගිල්ලී වහා යන්නට ඇගේ පැල සොයන්.....

මිල්ටන් පෙරේරාගේ ගීතවලින් මම කැමතිම ගීතයක් තමයි මේ. අහල බලන්න ඇත්තටම ඔයාලටත් කවදකම හරි මෙහෙම හිතිල තියෙනවද කියල.


video

Sunday, August 9, 2009

මොර - දැකල තියෙනවද?

මොර කියන්නෙ අපේම දේශීය පලතුරක් මම දන්න විදියට. කාලා තියෙන අය දන්නව ඇති ඒකෙ රහ කොහොමද කියලා. ටිකක් රඹුටන් වගේ උනත් මටනම් ඊටත් වඩා රසයි. නමුත් ගෙඩි නම් ඉතාම කුඩාවට තමයි හැදෙන්නෙ. ඒ වගේම තමයි මොර කන්න නම් මාර දුකක් විඳින්න වෙනවා. මොකද මේ ගස් සාමාන්‍යයෙන් අඩි 20 - 30 වුනාට පස්සෙ තමයි ගෙඩි හැදෙන්නෙ. ඒකත් හැදෙන්නෙ අතු අගිස්සෙ. "අතු කඩා මොර කනවා වගේ" කියලා කතාවක් තියෙනවනෙ. මම ජීවිතේටම දැකපු එකම මොර ගහ තියෙන්නෙ අපේ මිදුලෙ. මේ තියෙන්නෙ ඒකෙන් වැටුනු ඉත්තක් පහලින් තියෙන්නෙ ඒ ගහේ පින්තූරයක්. වැඩි පිරිසක් මොර ගැන අහල තිබුනට දැකල නැතිව ඇතිනෙ. ඒ අයට බලාගන්නත් එක්ක තමයි මේක බ්ලොග් එකේ දාන්න හිතුවෙ.



Friday, August 7, 2009

හිරු දුටු පිණි කැට


ටකේ කරේ

මේක මේ අපේ යාළුවෙකුට වුන සිදිධියක්. මේකා ටිකක් විතර මනමාලයා. කෙල්ලන්ව දැලේ දා ගන්න පදුම හැකියාවක් තියෙන්නෙ. ඔන්න එක දවසක් ඔය වගේ කොහේදි හරි සෙට් වෙච්චි ගෑණු පරාණයක් SMS එකක් එවලා. සිංග්ලිෂ් වලින්. මිනිහා ඉතින් යාළුවන්ට ඇහෙන්නත් එක්ක SMS එක කියවන්න ගත්තා. "ඔයාට කොහොමද?....." බ්ලා.... බ්ලා.. බ්ලා.... "මම නවතින්නම්...." කියලා මිනිහා කියවන එක නවත්තලා කල්පනා කරන්න ගත්තා ෆෝන් එක දිහා බලාගෙනම. ටික වෙලාවක් ඉඳලා මිනිහා එකපාරටම කෑගහල ඇහුව "ඒයි මොකද්ද බං මේ ටකේ කරේ කියන්නෙ?...." කියලා. බැලින්නම් කෙල්ල අන්තිමට Take Care කියලා ගහල එවල.

Thursday, August 6, 2009

මාරක අනතුරක්...

Monday, August 3, 2009

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට............

සුනිල් එදිරිසිංහයන් ලයාන්විත හඬින් මේ ගීතය අසන සැම විටම මට නැවතත් මගේ පාසැල් කාලය මගේ ඇස් ඉදිරිපිට මැවෙන්නෙ මේ කතාවට 100% ක්ම සමාන ප්‍රේමණීය අද්දැකීමක් උසස් පෙල කරන කාලෙදි මාත් ලබා තියෙන නිසා වෙන්නැති. එහෙම කිව්වම ඉතින් කතාව නොකිව්වට හිතාගන්න පුලුවන්නෙ. ඒකාලෙ කොහුවල හන්දියෙ පැය ගනන් කාපු කටු මතක් වෙන කොට නම් අමුතුම මිහිරක් දැනෙනවා හිතට. පීටර්සන් පාරෙ තියෙන ලයිට් කණු ටෙලිෆෝන් කණු වලට කතා කරන්න පුලුවන් නම් කතාව කියයි. මේ සිදුවීම වෙලා දැනට අවුරුදු 12 කටත් වැඩි වුනත් තාමත් මතකයෙ තියෙන්න හේතුව තමයි ඒක මගේ පලවෙනි පෙම් කතාව වීම.

Grab this Widget ~ Blogger Accessories