Wednesday, July 29, 2009

සමරු පොතේ (new version)


Friday, July 24, 2009

21

කාලෙකට පස්සෙ බලන්න ලැබුණු ටිකක් අමුතු විදියේ කතා තේමාවක් සහිත සිනමා නිර්මාණයක් කිව්වොත් හරි. කතාව ගොඩනැගිල තියෙන්නෙ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයට යන්න ආසාවෙන් ඉන්න ඒත් මුදල් නැති නිසා ශිෂ්‍යත්වයක් බලාපො‍රොත්තු වෙන බෙන් කැම්ප්බල් නම් ශීෂ්‍යයෙක් වටේ. මොහුගේ ගුරුවරයෙකු මගින් හඳුනා ගන්නා පස් දෙනෙකුගේ කණ්ඩායමක් සමග සති අන්ත වලදී රහසිගතව වේගාස් නගරයේ කැසිනෝ ශාලා වලදී Black Jack නැමැති කාඩ් ක්‍රීඩා කිරීම මගින් අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ඉපයීම සම්බන්ධ කතාවක් තමයි සාරාංශය. කතාව ආරම්භ වෙන්නෙ රොබින්සන් ශිෂ්‍යත්වය සඳහා පැවැත්වෙන සම්මුඛ සාකච්ඡාවකින්. එහිදී පැවසෙන පරිදි ශිෂ්‍යත්වය හිමිවන්නේ සවන්දෙන තැනැත්තා අන්දුන් කුන්දුන් කරවන(that will dazzle the recruiter) අන්දමේ ජීවන අද්දැකීම් සහිත කෙනෙකුට බව අවඥා සහගතව බෙන් වෙත පවසන පුද්ගලයා කතාව අවසානයේ ඉන්න විදිහ ඔයාලම බලන්නකො.



මෙතනින් බාගන්න

Thursday, July 16, 2009

රේගු නිලධාරින් එපා කියද්දි මිනිස්සු බලෙන්ම පගාව දෙන්නෙ ඇයි?

අපේ කොම්පැණියට ලැබුනු ඇණවුමකට අදාල අයිතමයේ කොටසක් සත්ව සමකින් නිෂ්පාදනය කර තිබීම නිසා වුනු අකරතැබ්බයක් නිසා තමයි මේක ලියන්න හිතුනෙ. අපේ Export Agent ට කතා කලාම සම් භාණ්ඩ අපනයනය කරනව නම් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ අවසර පත්‍රයක් අවශ්‍ය බව පැවසු නිසා මම කතා කලා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. එතනින් කියපි හරකුන්ගෙ වගේ හමකින් හදපු එකක් නම් බලපත්‍ර අවශ්‍ය නැත වෙනත් කැලෑ සතෙකුගේ හමක් නම් කොහොමත් අවසර දෙන්නේද නැත කියලා. රේගුවෙන් බලපත්‍ර ඉල්ලුවොත් කතා කරන්න කියල ඒ කතා කරපු කෙනාගෙ දුරකතන අංකයත් දුන්නා. ඇත්තටම සතුටු විය හැකි මට්ටමේ සේවයක් එතනින් ලැබුණු බවත් කියන්න ඕන.

මාතෘකාවට අදාල දේ කියන්න හදන්නෙ දැන් තමයි. මට දැන් මේක හතර බීරි කතාවක් වෙලා නිසා ආනයන අපනයන ක්ෂේත්‍රයේ රැකියාව කරන මගෙ යාළුවෙකුට කතා කලා. මිනිහා මට දුන්නා ශ්‍රී ලංකා රේගුවෙ තොරතුරු අංශයෙ දුරකථන අංකය. අයියෝ ගන්නවා ගන්නවා මුන් උස්සන්නෙ නෑනෙ. බැරිම තැන ගියා රේගුවෙ වෙබ් අඩවියට. එතන තිබුන මගේ ප්‍රශ්නෙට අදාල තැන සෘජු දුරකතන අංකයට කතා කලා. ඒක නම් අපරාදෙ කියන්න බෑ එහා පැත්තෙන් කතා කලා මම ප්‍රශ්නෙ බාගයක් කියන කොටම ඒපැත්තෙන් මම නම් මේ ගැන දන්නෙ නෑ ලොක්කෙකුට දෙන්නම් කියල තවකෙනෙකුට දුන්නා. ඔහොම ඉතින් තුන් හතර දෙනෙකුටම මගේ ප්‍රශ්නෙ මුල ඉදන් කිව්ව. අන්තිමටම කතා කරපු කෙනා තමයි උත්තරේ දුන්නෙ. මට මාර ආතල්. දන්නවද උත්තරේ. " මේක අපිට අදාල දෙයක් නෙවෙයි ඔය වෙබ් එකේ දාල තියෙන නොම්මර වැරදියි හරි තැනට කතාකරන්න." මම ඉතින් ආයෙත් අර යාලුව දුන්න නොම්බරේට පැයක් විතර ට්‍රයි කොරල ගත්ත. අරගෙන ප්‍රශ්නෙ කිව්වා. අදාල අංශයට ඇමතුම දැම්මාම තමයි මට තරු පෙනුනෙ. ආයෙත් අර මම මුලින් කතා කරපු සෙට් එකමයි. මම එහෙමම ඇමතුම විසන්ධි කරල. ගත්ත දැඩි තීරණයක්. Export කරද්දි ප්‍රශ්නයක් ආවොත් එතන ඉන්න Custom Officer ට කියක් හරි දීල වැඩේ ගොඩ දා ගන්නව කියල. මේ ගොල්ලො වැඩිය පගාව ගන්නෙ එහෙම නැති නිසා වැඩේ අප්සෙට් වෙන එකක් නෑ. රේගු නිලධාරින් එපා කියද්දි මිනිස්සු බලෙන්ම පගාව දෙන්නෙ ඇයි කියල මම දැන ගත්තෙ අද.

Monday, July 13, 2009

හොඳ මිත්‍ර සමාගමයක් පවත්වා ගැනීමට නම්....

අපේ දුකාගෙ යාළුවො ගැන ලියපු පෝස්ට් එක කියවද්දි මටත් හිතුනා මිත්‍ර සමාගමය පිලිබඳ මගේ අද්දැකීම් ටිකක් පෝස්ට් එකක් විදියට ලියල තියන්න. මම ලගින්ම ආශ්‍රය කරන යාළුවො ඉන්නෙ පස් දෙනයි. එයින් එක්කෙනෙක් ඇරෙන්න අනෙක් හතරදෙනාම පාසලේ යාළුවො. ඒ හතර දෙනාගෙනුත් එක්කෙනෙක් විශේෂයි. මම බණ්ඩාරවෙල ඉඳල මෙහෙ ප්‍රාථමික පාසලකට ආපු වෙලාවෙ (1986) මට මුණගැහුණු ඒ යාළුවා මාත් එක්කම ශිෂ්‍යත්වෙ පාස් වෙලා දෙන්නම ඇතුල් වුනේ එකම පාසැලකට. අනික් හතරදෙනා මුනගැහුනෙ ඊට පස්සෙ. අපි හැමෝගෙම ‍දෙමව්පියන් සහෝදර සහෝදරියන් සියළු දෙනාම අපිව සළකන්නෙ තමන්ගෙම පවුලෙ අය හා සමානව. අපේ අම්මා මට ඒ දවස් වල කියන්නෙ උඹට දැන් අම්මලා ගොඩක් ඉන්නවනෙ කියලා. අපි ඉස්කෝලෙන් කට්ටි පැන්නෙ පාඩම් කලේ හැමදෙයක්ම කලේ එකට. මට අද වගේ මතකයි දවසක් උදේක 135 කැලණිය බස් එකක් පිටිපස්සෙ සීට් පේලි දෙකක් අපි තව හය දෙනෙකුයි වෙන් කරගෙන නටපු පිස්සුවක්. ඒ පාසැල් කාලෙ කරපුවයින් ගොඩ ගියෙ නම් ජෝඩු දෙකයි. මාත් ඇතුළුව අනික් හතරම හබක්..
අපි හය දෙනාගෙ බැඳීම වඩාත් ශක්තිමත් උනේ අපි පාසැල් කාලය ඉවර කරලා තම තමන්ගෙ අරමුණු වෙනුවෙන් තරඟ කරන්න ගත්තට පස්සෙ කියලයි මට හිතෙන්නෙ. මොකද ඒ හැල්මෙ දිවීමෙදි අපි අසරණ වුනු අවස්ථා වල අපි තමයි අපිට හිටියෙ. මට හොඳටම මතකයි 2003 දි මම පිස්සෙක් වෙන තරමටම මානසිකව වැටුණු වෙලාවක මාව ගොඩ ගත්තෙ මේ යාළුවො ටික තමයි. ඊට කලින් මට පන දෙන්න හිටපු යාළුවො ඒ වෙලාවෙ මාව පාරකදි දැක්කත් මගඇරලා ගියත් මේ පස්දෙනා මගේ ලගින් හැමතිස්සෙම හිටියා. 2005 වගේ වෙනකොට එක එක යාලුවා විවාහ වෙන්න ගත්ත දැනට අවිවාහකව ඉන්නෙ මමයි මගේ පරණම යාළුවයි විතරයි. ඒ ඔවුන්ගේ මායියන්ගෙනුත් අපේ සමාගමයට හොඳ සහයක් ලැබෙනව.
මේ පහුගිය කාලය ඇතුලත අපි අතර ප්‍රශ්න ඇති නොවුනාම නෙවෙයි. ඒත් ඒ කිසිම ප්‍රශ්නයකට අපේ මිත්‍රත්වයට උඩින් යන්න බැරි වීම සතුටක්. අපි අපේ මේ මිතුරන් අතරෙ නිහඬව පිලිගත් එකඟතාවන් කීපයක් තියෙනවා
1. කිසිම කෙනෙක් කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවීම. මෙමගින් අපි කරන උදව් ද ගනන් තබා නොගන්නා නිසා හිත් රිදවීම් අඩු වේ.
2. මිතුරන් සැම දෙනාටම තමන් තමන්ම ලෙස හැසිරීමට අවස්ථාව ලබාදීම
3. සෑම දිනකම එක් වරක් වත් දුරකථන ඇමතුමක් දී අනෙක් අය ගැන සොයා බැලීම
4. අවම වශයෙන් මාසයකට දෙවතාවක් අපි ගෙවල් වලින් පිට නිදහස් තැනකදි මුනගැසීම. තම තමන් අතින් වුනු වැරදි ,තම තමන්ගෙ ප්‍රශ්න සහ අනාගත සැලසුම් ගැන සාකච්ඡා කිරීම තමයි මේ හමුවීමෙ ප්‍රධානම අරමුණ
5. අවුරුද්දකට දෙවතාවක් කොහේ හෝ චාරිකාවක් යෑම. මෙයින් එකක් අනිවාර්යෙන්ම අවුරුදු නිවාඩුවෙදි යා යුතුයි. ඒක අනිවාර්යෙන්ම අවමය දවස් තුනයි.
6. උත්සව අවස්ථාවලදී මෙන්ම ශෝකජනක අවස්ථා වලදීත් මිතුරා ලගින්ම සිටිමින් අවශ්‍ය දේ සොයා බැලීම

මෙන්න මේ විදියට තමයි අපි අපේ සමාගමය පවත්වා ගන්නෙ. මේ සමාගමය අපි ජීවත්ව සිටින තුරාවටම මෙසේම පවත්වා ගන්න තමයි අපේ අදහස. මේක කියවල මගේ අනික් යාලුවො තරහ වෙන එකක් නෑ කියල හිතනවා ඒ අය ගැන කිව්වෙ නෑ කියලා. ඇත්තටම ඒ අය කරපු උදව් ඔක්කෝම මට හොඳට මතක තියෙන නිසා තරහ වෙන්න දෙයක් නෑ.

Sunday, July 12, 2009

මං විතරද?

අහන්න

Sunday, July 5, 2009

සදාදරණීය ජෝති

එච් ආර් ජෝතිපාල එහෙමත් නැත්නම් ජෝති අපෙන් සමුගෙන ඊයේ (04/07/2009)ට වසර 22කි. එදා ඔහු ජීවත්ව සිටියදී කසිකබල් පීචං ගායකයකු ලෙස හැදින්වූ ප්‍රබුද්ධ යයි කියා ගන්නා අයට ඔහුගේ අගය වැටහුනේ ඔහු මියෑදුනාට පසුවය. එදා ඔහු මිය යන විට මට වයස අවුරුදු නවයක් වුවද වසර 22කට පසු අදත් මගේ ජනප්‍රියම ගායකයා ඔහු වීම ගැන මම කියන්නෙ ආඩම්බරයෙන්. ජෝති ගැයු ගීත බොහොමයක් හින්දි ගී තනු වලට ගැයූ ඒවා වුවත් එම ගීත අසන විට අපට ඒ බවක් මතකයට නොඑන තරමටම ලයාන්විතව ඔහු ගායනා කලේය. ඊටත් වඩා ඔහු සතුව තිබූ සුවිශේෂම දෙ නම් ඔහුගේ කට හඬයි. චිත්‍රපට ගීත ගායනයේදී ඔහුගේ හඬ ඕනෑම නලුවෙකුට ගැලපුනේය. දැනට මා දන්නා තරමින් එවන් හඬක් ඇත්තේ ග්‍රේෂන් ආනන්දට පමණි. ඔහු මියැදුනාටත් පසුව මෙලොව එලිය දුටුවන්ද සුපර්ස්ටාර්ලා වීමට ජෝතිගේ ගී ගැයීමම ඔහු කොතරම් රසික සිත් ඇද බැඳ ගත්තා දැයි කීමට ප්‍රමාණවත්ය. හදිසියේ තබන මේ කෙටි සටහන ඒ අසහාය ගායකයාට පිදෙන උපහාරයක්ම වේවා!



Saturday, July 4, 2009

Hindi Vs Sinhala



Friday, July 3, 2009

නොමිලේ Mail Server එකක්?

ඔබට අයිතිව ඔබේම ඩොමේනයක් (Domain) තිබේ නම් දැන් ඔබටම කියා ඊමේල් සර්වරයක් නොමිලේම ලබාගන්න හැකියාව තියෙනව. එමගින් ඔබට අමතර වියදම් දැරීමකින් තොරව you@yourdomain ආකාරයේ ඊමේල් ලිපින උපරිමය 50ක් දක්වා නොමිලේම ලබා ගත හැකියි. මෙම සේවාව අප වෙත ලබා දෙන්නෙ සුප්‍රසිද්ධ ගූගල් සමාගම මගින් සපයන google apps සේවාව මගිනුයි. මෙය දැන් බොහෝ කාලයක සිට සිට ලබා දෙන සේවාවක් නිසා සමහර විට දැනටමත් ඔබ මේ ගැන දන්නවාත් ඇති. නමුත් google apps වෙබ් අඩවියට ඇතුලු වූ විට දැන් මෙම නොමිලේ ලබා දෙන සේවාව ගැන සඳහනක් නැතිම කරම්. ඒකට හේතුව තමයි ඔවුන් ඔවුන්ගේ මෙම සේවාව Corporate සහ Standard වශයෙන් කොටස් දෙකකට බෙදා ඔවුන්ට වැඩි ලාභ ගෙන දෙන Corporate සේවාව පමණක් ප්‍රවර්ධනය කිරීම. නමුත් මෙතනින් ඔබට පුලුවන් Standard සේවාව ලබා ගන්න. ඔබට අවශ්‍ය වෙන්නෙ ඔබේ පාලනය යටතේ පවතින ඩොමේන් නාමයක් පමණයි. මෙම සේවාව Gmail මගින් සක්‍රිය කර ඇති නිසා Gmail හිදී ලැබෙන ආරක්ෂාව වගේම Google calendar, Google docs ආදී සේවාවනුත් නොමිලේම ලැබෙන අතරම මෙය POP3 සහ IMAP සඳහාද සහාය දක්වනවා. ඔබට කරන්න අවශ්‍ය වෙන්නේ ඔබේ ඩොමේනය google apps සමග ලියාපදිංචි කිරීමෙන් පසු ඔවුන් ලබා දෙන සර්වර් ලිපින (Server Addresses) ඔබේ ඩොමේනයේ පරිපාලක පුවරුවේ ඇති MX record එක ලෙස ලබාදීම පමණයි. ඉන් පසු උපරිමය 50ක් දක්වා ඔබට අවශ්‍ය පරිදි ඊමේල් ලිපින නිර්මාණය කර ගත හැකියි.

Thursday, July 2, 2009

හිත ගිය සිංදු දෙකක්

මේ හිංදි සිංදුව Saathi චිත්‍රපටියෙ තමයි තියෙන්නෙ. සිංහල එක ඒ හිංදි සිංදුවෙ තාලෙටම තමයි මිල්ටන් පෙරේරා කියල තියෙන්නෙ.



Wednesday, July 1, 2009

Spiceworks

මාතෘකාව දැකල වැරදියට හිතන්න එපා මේ කියන්න යන්නෙ කුළුබඩු සම්බන්ධ කතාවක් නම් නෙවෙයි. මේ කියන්න හදන්නෙ නොමිලේ ලබා දෙන Network Management මෘදුකාංගයක් ගැන. මේකෙ User Friendly ගතිය වැඩියි Wireshark වලට වඩා. ඒ වගේම පහසුකම් අතිනුත් වැඩියි මට හිතෙන විදියට. ඒත් පොඩි කොස්සක් තියෙනව. මේක අපේ පරිගනකයට ස්ථාපනය කලාට ක්‍රියාත්මක කරන වෙලාවට අන්තර්ජාලය හරහා ඔවුන්ගේ සර්වරයක් සමග සම්බන්ධ වෙමින් තමයි වැඩ කරන්නෙ. ඒසඳහා ලියාපදිංචි වීමෙදි අපේ පරිගනක ජාලය සඳහාAdministrator rights තියෙන පරිශීලක ගිණුමක් මුරපදයත් සමග ඔවුන්ට ලබා දෙන්න වෙනව. මම නම් කලේ වෙනමම Admin ගිණුමක් හදල ඒක අක්‍රිය(Disable) කරල තියන එක. අවශ්‍ය වෙලාවට ඒක සක්‍රිය කර ගන්නව.මෙම මෘදුකාංගය මගින් ඔබේ පරිගනක ජාලය සිතියම් ගත කිරීම / එක් එක් පරිගනකය භාවිතා කරනු ලබන Bandwidth එක බලා ගැනීම ආදී සේවා රැසක්ම ඉතා පහසුවෙන් ලබාගන්න පුලුවන්. වැඩි විස්තර මෙතනින්.

Grab this Widget ~ Blogger Accessories