Saturday, September 26, 2009

අතීත සැමරුම්

හිරිපොද වෑහෙන සැන්දෑ යාමෙක
මුලින්ම අප හමු වූවා මතකද
එකම කුඩය යට දෑත් පටලවා
පාළු මාවතේ පිය නැගුවා මතකද

ගොම්මනෙ හිනැහුනු හෙන්දිරික්ක මල්
නුඹේ තෝඩු මෙනි මම කීවා
කණාමැදිරියෙකු සේ නුඹ පසුපස
මා එනවා යයි නුඹ කීවා

මිනිත්තු පැය දින අවුරුදු ගතවී
අප ඇත අද දින මහළු වෙලා
තවත් පෙම්වතුන් සිය දහසක් යන
අප ගිය මාවත තරුණවෙලා

එදා වගේමයි හෙන්දිරික්කා මල්
තවමත් ගොම්මනෙ හිනැහෙනවා
මල් වල තනියට හැමදාමත් රෑ
කණාමැදිරියන් ඉගිලෙනවා

පාළු මාවතේ තනිවම යන විට
අපේ මතක මට සිහි වෙනවා
ඉඳහිට වැටෙනා සීතල හිරිපොද
නුඹ කොතැනකදැයි විමසනවා

Wednesday, September 23, 2009

ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ..............

සමස්ථ ලෝකයම පිළිබඳව යම් යම් හේතූන් නිසා කල කිරී සිටිනවුන්ට තම ලබැඳියකු වෙතින් ලැබෙන සිනාවක් පවා කතරකට වැටුනු දිය බිඳක් සේ වටිනා බව මම අද්දැකී‍මෙන්ම දනිමි. මේ ගීතය මගිනුත් නන්දා මාලිනියන් කීමට උත්සාහ ගන්නේ එයමය.

Thursday, September 17, 2009

ඔබත් මනෝ කායික අද්දැකීම් ලබා තියෙනවාද?


ආත්මය එහෙමත් නැත්නම් අපේ භෞතික ශරීරයේ අදෘශ්‍යමාන පිටපතක් ලෙස මනෝකාය හැඳින්විය හැකියි (මෙය වැරදි නම් නිවැරදි කරන්න). ඕනෑම මනුශ්‍යයකු ජීවිතයේදී එක් වරක් වත් මෙම මනෝකායික අද්දැකීම් නොදැනුවත්ව හෝ ලැබිය යුතුය. මේ පිළිබඳව විශ්ලේෂණය කල විද්වතුන් පවසන අන්දමට මෙම මනෝකාය (Astral Body) අපගේ භෞතික ශරීරය හා සම්බන්ධ වී ඇත්තේ රිදීවන් තන්තුවකින් බව පැවසේ. කෙනෙකු මරණයට පත්වන අවස්ථාවේදී මෙම රැහැන බිඳී භෞතික ශරීරයත් මනෝකායත් වෙන්වන බවද පැවසේ. මරණයෙන් පසුත් දින කීපයක් යනතුරු එම පුද්ගලයා ජීවමානව සිටි කාලයේ තිබූ ශක්තිය මෙම මනෝකාය සතුව පවතින බවටද අදහසක් පවතී.
කෙනෙකු ඉතාමත් තද නින්දකට වැටුනු පසු / අධික ලෙස මත් ද්‍රව්‍ය භාවිතා කල අවස්ථා වල ඔවුන්ගේ මනෝකාය ශරීරයෙන් වෙන්වී (ශරිරය සමග වන සම්බන්ධතාවය පවත්වා ගනිමින්) සැරි සැරීමට පටන් ගනියි. එසේම දරුණු මාරක අනතුරු වලින් දිවි ගලවා ගත්තවුන් පසුකලෙක තම මරණාසන්න අද්දැකීම් ලෙස කරන ලද විස්තර කිරීම් වලදී , තමන්ගේ ශරීරය දෙස අහසේ හො‍් ඒ අසලක හිඳ බලා සිටිබව පවසා ඇත. මෙයද මනෝකායික අද්දැකීමකි. කෙදිනක හෝ ඔබ තද නින්දක සිටියදී ඉතාමත් උසක සිට ඔබව ඇද වැටෙනු දැනී තද ගැස්සීමක් ඇඟට දැනෙන අවස්ථාවක ඇහැරී තිබේද? එසේ දැනෙනුයේ ශරීරයෙන් වෙන්වූ මනෝකාය නැවතත් ශරීරය හා සම්බන්ධ වීමේදී බව පැවසේText Color.
භාවනා කිරීම වැනි දේ කිරීමෙන් මනස දියුණු කල විට මෙම මනෝකාය අපට අවශ්‍ය විටෙක ශරීයෙන් පිටතට ගත හැකි අතර එමගින් යම් යම් ක්‍රියාකාරකම් වලද යෙදීමට හැකි බවද මා අසා ඇත.
මා හටද මෙවන් අදදැකීම් මාගේ කුඩාකාලයේදී ලැබී ඇත. මා හට තදින් උණ ගත් බොහෝ අවස්ථාවල මා අහසේ පාවී ගොස් මා බොහෝ සේ ඇළුම් කල ස්ථාන වල සැරිසරනු දැනී ඇත. ඒ අවස්ථා වලදී මාගේ භෞතික ශරීරය ඇඳ මත තිබෙනුද දැක ඇත්තෙමි. එකල මෙම අද්දැකීම මට තේරුම් ගැනීමට නොහැකි වුවත් පසු කාලීනව මේ පිලිබඳ තොරතුරු සෙවීමේදී මෙය මනෝකායික සංචාරයක් බව පසක් විය.
මේ පිලිබඳ වැඩිදුර විස්තර මෙතනින් ගන්න පුලුවන්.

Thursday, September 10, 2009

(අ)සම්මත පෙමක්


Tuesday, September 1, 2009

නිල්මිණි දෑසේ මැවු ආලොකේ..............

තමා අතහැර ගිය ආදරණීය දෑසක් පිළිබඳ මතකය ආවර්ජනය කරමින් විරහව විඳින පෙම්වතෙකුගේ සිතේ ඇතිවන හැඟීම් ලයාන්විත ලෙස කැටිකොට සිසිර සේනාරත්න ගායනා කරන මේ ගීතය තවත් මගේ ප්‍රියතම ගීත අතරින් එකක්.

නිල්මිණි දෑසේ මැවු ආලොකේ
හද මැදුරේ නැත නිවුනේ
මල් වැනි ඒ හද මල් මෙන් මැලවී
ඇයි අද සෝ ගී නැගුනේ
ඇයි අද සෝ ගී නැගුනේ

නිල්මිණි දෑසේ මැවු ආලොකේ
හද මැදුරේ නැත නිවුනේ

මදු මලකට බඳු මුව මදහාසේ
මදු මලකට බඳු මුව මදහාසේ
රන් මුතු මිණි කැට වටිනා
ආදරයක රත් සිහින මවා දුනි
පෙම්බර සිතිවිලි අමුණා
මදුමල පරවී මුතු ඇට විසිරී
මා හැදු මාළිග බිඳුනා
එහි ආලෝකය නිවුනා
එහි ආලෝකය නිවුනා

නිල්මිණි දෑසේ මැවු ආලොකේ
හද මැදුරේ නැත නිවුනේ

කිංකිණි පිහින හඬින් මසුරන් වැනි
කිංකිණි පිහින හඬින් මසුරන් වැනි
ගැයු ගී මට සිහි වෙනවා
දෙසවන මී පැණි වැනි ඒ ගී හඬ
සුල‍ඟේ අද මුමුණනවා
ගීයට ගීයෙන් බැඳි හද බිඳුනත්
දෑසට කඳුළැලි එනවා
මම තනිවම වැලපෙනවා
මම තනිවම වැලපෙනවා

නිල්මිණි දෑසේ මැවු ආලොකේ
හද මැදුරේ නැත නිවුනේ

Grab this Widget ~ Blogger Accessories