Sunday, October 18, 2009
Thursday, October 15, 2009
Tuesday, October 13, 2009
Interval ඉවරයි - කට්ටියම ඔලුවෙන් හිටගන්න..........
අපායට ගිය පොරකට තමන් කැමති දඬුවමක් තෝර ගන්න වරමක් ලැබුනලු. ඔන්න ඉතින් අපේ පොර අපායෙ වටේ පොඩි රවුමක් ගහන්න පටන් ගත්තලු පහසු දඬුවමක් හොයාගන්න. ඔහොම යනකොට එක තැනක කටට ලෝදිය වක්කරනව, තව තැනක කටු ඉඹුලෙ නග්ගවනව ඔය වගේ එක එක දඬුවම් අතරෙ සෙට් එකක් අසූචි වලක බැහැල ෆුල් ආතල් එකේ ඉන්නව දැක්ක අපේ හාදය මෙක හොඳයි කියල පැන්නලු එවෙලෙම වලට. අනේ ටිකක් වෙලා යනකොට යම පල්ලෙක් ඇවිත් කිව්වලු "හා හා දැන් ඉතින් ඉන්ටවල් ඉවරයි. කට්ටියම ඔලුවෙන් හිටගන්න.........." කියල. හෆොයි අපේ හාදය නේද?
මටත් දැන් ඔය වගේම සීන් එකක් වෙලා තියෙන්නෙ. ඉන්ටවල් නම් ඉවරෙටම ඉවර වෙලා. දවාලෙට පොඩි ඇලට් එකක් දාපු කාලයක් මතක නෑ. වැඩ වැඩ වැඩ. බ්ලොග් එක ලියන්න හිතෙන්නෙත් නෑ. ඔලුව නිකම් පුහු වෙලා වගේ. පොත් ප්‍රදර්ශනෙන් ගෙනාපු පොත් ටික අල්ලන්නවත් උනේ නෑ. හයියෝ කොහොමට හිටපු කොල්ලෙක්ද ඈ..?
මට නම් දැන් එපා.......... වෙලා ඉන්නෙ..
Tuesday, October 6, 2009
පුස් නොබැඳුණු ජීවිතේ..
මෙම ලිපිය මම තවත් අවුරුද්දකට පමණ පසු ලිවීමට සිතා සිටියත් පුස් බැඳුණු ජීවිතයක් ගැන ලිපිය කියවීමත් එහි මවිසින් පල කල ප්‍රතිචාරයට ලද පිලිතුරු ලෙස රචකයා විසින් මාගේ සාර්ථකත්වය ලඟා කර ගත් අයුරු සඳහන් කරන්නැයි කරන ලද ඉල්ලීමත් හේතුවෙන් මෙම ලිපිය මේ මොහොතේ ලිවීමට සිත් විය.
එහි රචකයා ලියා තිබූ “සිහින වූයේ මගේ සිත තුළ පමණක් හෙයින් අන් අයගේ සතුට වෙනුවෙන් මගේ සිහින බිලි දෙන්නට මට සිදු වී තිබිණ. යාන්තම් උසස් පෙළ නිමා කර ගත් දින සිටම රැකියාවකට පය තැබූ මට සිහින සැබෑ වෙන තැන කරා යාමට ඇවැසි ශක්තියක් හෝ උපකාරයක් හෝ අත් වැලක් තිබුණේ නැත. බොහෝ අනාගත අපේක්ෂා සිහින තුළට දමා දොරගුළු වසා දිනපතා සුළු වැටුපකට රැකියාවට යන්නට මට සිදු විය.” යන කොටස කියවන විට මගේ ජීවිතයද මේ ආකාරයටම ආරම්භ වූ බව මට සිහි විය. නමුත් එහි එක් වෙනසක් වූයේ මම මගේ ජීවිතය පුස් කෑමට ඉඩ නොදීමයි.
මා කුඩා කල සිටම ප්‍රිය කල ක්ෂ්‍රේත්‍රයක රැකියාවක් ලැබීම සමහර විට එසේ වීමට එක් හේතුවක් වන්නට පුලුවන. කුඩා කල මගේ සම වයස් දරුවන් බෝල පිති ගෙන ක්‍රිකට් ගසන විට මා වයර් කෑලි , ටෝච් බැටරි, ටෝච් බල්බ ආදිය සමග සෙල්ලම් කල බව අම්මා අදටත් පවසයි. උසස් පෙල කරන කාලයේ මාගේ මොලයට වෛරසයක් ඇතුළුවීම නිසා හටගත් අසනීප තත්වයක් හේතුවෙන් වසර ගනනකට මට මොලේ වෙහෙසා වැඩ කිරීම පාඩම් කිරීම ආදිය වෛද්‍ය නිර්දේශය මත තහනම් විය. ඒ වන විට උසස් පෙලට අයදුම්පත් දමා තිබීම නිසා පාසැලේ හා උපකාරක පන්ති වල පාඩම් වලට සවන් දීම පමණක් කර ලියූ විභාගයෙන් ලැබුනේ සාමාන්‍ය සාමාර්ථ දෙකක් පමණි. සියලුම මිතුරන් ඉතා ඉහලින් උසස් පෙල සමත්ව විශ්ව විද්‍යාලයට යන විට මා හට එක්තරා ආයතනයක පරිගණක පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව උදා විය. එම පාඨමාලාව අවසානයේ විභාගයෙන් උසස් ලෙස සමත්වීම හේතුවෙන් එම ආයතනයේම උපදේශකයෙකු ලෙස මාගේ වෘත්තීය ජීවිතය ආරම්භ විය.
එම ආයතනයේ අවුරුදු පහකට ආසන්න වූ මාගේ සේවා කාලය තුලදී මා ලද වැටුපට වඩා වටිනා අද්දැකීම් සමූහයක් මම ලබා ගතිමි. එසේම යම්කිසි ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමටද මට හැකි විය. මාගේ ඊලඟ රැකියා අවස්ථාව උදා වන්නේ මා ඒ ගොඩ නගා ගත් ප්‍රතිරූපය තුලිනි. මෙහිදී මා දකින ආකාරයට ප්‍රතිරූපයක් ගොඩ නඟා ගත යුත්තේ තමන් සතු හැකියාවන් ආශ්‍රිතව මිස බොරු මවා පෑමකින් නොවේ. පාසැල් කාලයේ සිටම ඉලෙක්ට්‍රොනික විද්‍යාව අධ්‍යනය කිරීමද මා හට රුකුලක් විය. ඊට අමතරව වායු සමීකරණ ශිල්පය හා power Electrical පිලිබඳව මා සතු දැනුමද මා සේවය කල ආයතන වලදී මා ලබාගත් කළමණාකාරීත්වය හා ගිණුම්කරනය පිලිබඳ දැනුමද මාගේ මේ ගමන් මගේ මට මහඟු ආශීර්වාදයක් බඳු විය. මා සමග සේවය කල අය වැඩි වැටුප් සහිත රැකියා හඹා යන අතර තුර මා කලේ මාගේ වෘත්තීමය හැකියාවන් වැඩි දියුණු කර ගැනීමයි. එමගින් මාගේ ගමනේ වේගය මදක් අඩු වුවත් මා හට දැඩි ආත්ම විශ්වාසයකින් මා වෙත එන අභියෝග වලට මුහුණ දීමට හැකිවිය.
මා මේ අද සිටින මට්ටමට මා ගෙන ආවේ මවිසින් ලබාගත් වෘත්තීමය සුදුසුකම්, වැඩි දියුණු කර ගත් හැකියාවන් සහ මවිසින් ගොඩනගා ගත් ප්‍රතිරූපයත් එමගින් ගොඩනගා ගත් සමාජ සම්බන්ධතා මගිනුත් බව මා සිහිකරන්නේ නිහතමානී ආඩම්බරයක්ද සමගයි.
මේ වන විට මම රැකියාවේ ඉතා විශාල පිම්මක් පැනීමට සූදානම්ව සිටින අතර ඒ ගැන ලිවීමට තවම කල් වැඩි බව සිතේ. රැකියාවක අනුන්ට වල කපා ඉහලට යනවාට වඩා තමන්ගේ හැකියාවන් උදව්වෙන් ඉහලට යාමට උත්සාහ ගන්නේ නම් ඔබගේ පැවැත්ම වඩාත් ස්ථීර වන බව මාගේ අද්දැකීමයි. ඒ සඳහා පහත සඳහන් දේ අනුගමනය කල යුතු බවද මගේ අදහසයි.
1. තමන් සේවය කරන ආයතනයට , ප්‍රධානීන්ට අවංක වන්න
2. ආයතනයෙන් තමන් ලබා ගන්නා දෙයට වැඩි දෙයක් සැමවිටම ආයතනය වෙත ලබා දෙන්න
3. ඔබගේ සුදුසුකම් කිසිම විටෙක ආභරණයක් කර නොගන්න
4. තමන් අතින් වූ වැරැද්දක් කිසිම විටෙක අනෙකෙකු පිට පැටවීමෙන් වලකින්න
අවසාන වශයෙන් ලොක්කෙක් නොවී නායකයකු වීමට උත්සාහ ගන්න.
Subscribe to:
Posts (Atom)