මේ දවස් වල ජීවිතේ නම් හරිම විවිධාකාරයි. පහුගිය අවුරුදු හතරක විතර කාලයක් ගත කරපු ඒකාකාර ජීවිතය මේ වෙනකොට සෑහෙන වෙනසකට ලක් වෙලා කියල මට දැනෙනවා. නමුත් ඒ වෙනසට හේතුවත් පහුගිය අවුරුදු හතරම කියලත් මට හිතෙනවා.
2010 අවුරුද්ද ආරම්භයත් සමගම මගේ රැකියා ජීවිතයේ ගන්ධබ්භ කාලයක් ඒ කියන්නෙ සේවාස්ථ පුහුණු කාලයක් ආරම්භ උනා. නමුත් ඒ සඳහා මා නුවර ශාඛාවට අනුයුක්ත කල බැවින් ගම රට අතැර යන්නත් වුනා. දැන් වැඩිය බලොග් එක පැත්තෙ එවෙන්නෙ නැත්තෙත් ඒකයි. සතියකට සැරයක් ගෙදර ආපු වෙලාවට ඉඩක් තිබුනොත් මොනවා හරි කුරුටු ගාල යනවා ඇරෙන්න ඉස්සර වගේ මේකටම වෙලා ඉන්න අවස්ථාවක් නැහැ දැන්. වෙලාව තිබුනත් සතියක් තිස්සෙ මම එනකම් තනියම ගෙදර ඉන්න අම්මත් එක්ක වචනයක් කතා නොකර කොම්පීතරේ අල්ලගත්තොත් ඒක කොච්චර අසාධාරණද?
නුවර ජීවිතේ නම් වරදක් නැහැ. ඒත් හවස් වෙනකොට තමයි එපා වෙන්නෙ. සේවය නිමවෙලා නවාතැනට ගියාම හිතට දැනෙන්නෙ මහා පාලු මූසල කම්මැලි කමක්. තනි කමක්. දුරකතනය තිබුනට මගේ තනිකම නැති කරගන්න හැමදාම යාලුවන්ට කතා කරල ඒ අයට වදයක් වෙන්නත් බෑනෙ. මුලින් මුලින් හවසට ගන්නොරුව සිට පේරාදෙනියටත් නැවත පේරාදෙනියේ සිට ගන්නොරුවටත් ඇවිදිමට පුරුදුව සිටියත් වැස්ස පටන් ගත්තට පස්සේ ඒකත් නැවතුනා.
මේ දවස් වල නම් ටිකක් වැඩිපුර නිවාඩු තියෙනවා. හැම අවුරුද්දකම වගේ මේ කාලය සංචාරක ව්‍යාපාරයේ off season එක නිසා මේ දවස් වල අපිට අවස් තුනක් වැඩ කලාම දවස් තුනක් නිවාඩු ලැබෙනවා. එහෙම කරන්නෙ මේ කාලෙට ආයතනයේ වියදම අඩු කර ගන්නයි. මට ඉතින් දවස් තුනෙන් තුනට කොළඹ එන්නයි නුවර යන්නයි බැරි නිසා දවස් පහක් වැඩ කරල දවස් පහක් නිවාඩු ගන්නවා. අදින් මගේ දවස් පහක එක නිවාඩුවක් ඉවරයි. දැන් නම් හෙට උදේ යන්න තියෙනව කියල හිතනකොටත් හරි කම්මැලියි.
නිවාඩු දවස් ටිකේ බ්ලොග් එකේ මොනව හරි ලියන්න කියල හිතනකොට මාස ගානක් තිස්සෙ ලියවෙන්නෙ නැතුව හිතේ හිරවෙලා හිටපු වචන එකකට එකක් යටකරගෙන එලියට පනින්න හදන නිසා කිසිම දෙයක් හරියට ලියා ගන්න බැහැ. දැන් මම තීරණයක් ගත්තා හිතේ තියෙන දේවල් දින පොතක ලියන්න. එතකොට වෙලාව තියෙන විදියට ඒවා බ්ලොග් එකට පිටපත් කරන්න පුලුවන්නෙ.
ලැප්ටොප් එකක් තියෙනව නම් බ්‍රෝඩ්බෑන්ඩ් එකක් අරගන්න. ඉන්ටනැට්ටෙ වත් එල්ලිල ඉන්න බැරියැ නවාතැනට ගියාම.