මේ කියන්නට යන්නේ ඔබටත් මටත් හුරු පුරුදු සාමාන්‍ය ගණයේ කවියක් ගැන නම් නොවේ.මේ කවියේ විශේෂත්වය වන්නේ කවි තුනකින් කවි දොළහක් කියවිය හැකි අපූර්ව නිර්මාණයක් මේ කවිය තුල ගැබ්ව තිබීමයි.අදත් පුරාණ විහාරයක දොර පත්තක දක්නට ලැබෙන “බාරස කාව්‍යය” නම් මේ කාව්‍යයය පිටුපස ඇත්තේ රසවත් කතාවකි.
මේ අති දුෂ්කර ප්‍රහේළිකාමය කාව්‍ය බන්ධනය නිසාම එහි රචකයා වන කරතොට කීර්ති ශ්‍රී ධර්මාරාම හිමියෝ අක්කර දහතුන් දහසකට අධික පල්ලේබැද්ද ගම්වරය ඇතුළු රාජ්‍ය වරප්‍රසාද රැසක්ම ලබාගත්හ.
මේ කවේ ඇති විශේෂත්වය වන්නේ මෙම කවි තුන වමේ සිට දකුණටද , දකුණේ සිට වමටද, ඉහල සිට පහලටද, පහල සිට ඉහලටද කියවිය හැකි වීමයි. ඒ සෑම අවස්ථාවකදීම විශේෂණ පද රැසක් මගින් බුදුන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් භුද්ධාභිවන්දනයක යෙදේ. පුදුමය නම් ඉදිරියට කියවාගෙන ගිය ගොණුවක් ආපසු කියවන විටදී වෙනත් තේරුමක් ගෙන දෙන සේ සකස් කර තිබීමයි.
කරතොට නම් ග්‍රාමය පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ හක්මන - බෙලිඅත්ත මාර්ගයෙන් හැරී මද දුරක් ගිය විටය. ධර්මාරාම හිමියන්ගේ පියා දොන් දාවිත් විජේසිංහ නම් විය. මව බාල එතනා අබේසුන්දර සමරකෝන් විය. 1735 දී උපන් ධර්මාරාම හිමි , හේරගම්පිට විහාරාධිපති කදුරුපොකුණේ ස්වර්ණජෝති හිමිගේ ආචාර්යත්වයෙන් පැවිදි විය. අනතුරුව වැලිවිට අසරණ සරණ සරණංකර හිමි වෙතින් ධර්ම ශාස්ත්‍රය ඉගෙනීම පිණිස මහනුවර මල්වතු විහාරයට වැඩම කොට එවකට පැවති සියලුම උගතමනා ශිල්පයන් හදාරා අග්‍රගණ්‍ය පඩි රුවනක් බවට පත්විය.
1783 දී ධර්මාරාම හිමියනට ශ්‍රී පාදස්ථානයේ නායක පදවියද, පහතරට සංඝනායක පදවියද ශ්‍රී පාද අඩවියට අයත් වේහැල්ලේ තඹ සන්නස සහ ඇත්දළ ජෝඩුව ද රාජසිංහ රජු විසින් පිරිනමා තිබුණු බව සදහන් වේ.
ඊට වසර දෙකකට පසු 1785 දී යම් හේතුවක් නිසා රාජ උදහසට ලක්වීමෙන් කරතොට නාහිමියන් සිර අඩස්සියට පත්ව කටුගස්තොට ප්‍රදේශයේ අප්‍රසිද්ධ දිවියක් ගත කරන ලදී. හිස රැවුල්කැපීමටද තහනම් කරනු ලැබූ උන් වහන්සේ දැඩි මානසික පීඩනයකට ලක්ව සිටියහ.
එවකට මල්වතු විහාරයේ නැවතී සිටිමින් ධර්ම ශ්‍රාස්ත්‍ර ඉගැන්වූ අත්තරගම බණ්ඩාර මැතිතුමාද කරතොට හිමියන්ගේ ධර්මාචාර්ය වරයෙකි. කරතොට හිමිගේ වටිනාකම දන්නා බැවින් මෙතුමා, කරතොට හිමියන් සිර අඩස්සියෙන් මුදවාලීමට විවිධ ක්‍රම සොයමින් සිටින අතරම සාහිත්‍ය ලෝලියකු වූ රාජාධිරාජසිංහ රජු පැහැදවීම සදහා වූ කාව්‍ය ප්‍රබන්ධයක් කලොත් එය රජුට ඉදිරිපත් කල හැකි යයි ධර්මාරාම හිමිට පණිවිඩයක් යැවීය. එම පණිවිඩය යවා කීප දිනකින් “බර කව ගබ සක” නම් වූ දුෂ්කර ප්‍රබන්ධය රජු අතට පත්විය.
එවකට සිටි කිසිම ගිහි පැවිදි පඩිවරයෙකුට එකී ප්‍රබන්ධය කියවීමටවත් තේරුම් කරදීමටවත් නොහැකි වූ බැවින් රජතුමා කරතොට නාහිමියන් රාජ සභාවට කැදවාගෙන එන ලෙස ඇමතිවරයකු යැවීය
රාජ සභාවට පැමිණි නාහිමියෝ තම කෘතියේ ඇති කවි තුනෙන් කවි දොළසක් කියවා ඒවායේ අරුත් වන මුනි ගුණ වැනුම වටහා දුන්හ.
කරතොට හිමිගේ නිර්මාණ ශක්තියට හා පාණ්ඩිත්වයට අතිශයින් පැහැදුණු රජතුමා නාහිමියන් හිරෙන් මුදවා පල්ලේබැද්ද නින්දගම හා ශ්‍රී සංඛපාල විහාරයද තුඩපතකින් සහ සන්නසකින් 1786 දී පුජා කරන ලදී.
උපුටා ගැනීම - ඇඹිලිපිටියේ ඩේවිඩ් බමුණුගම නම් කෙනෙකු සිංහලයා වෙබ් අඩවියට ලියු ලිපියක් ඇසුරින් සහ පෞද්ගලිකව දන්නා තොරතුරු ඇසුරිනි.
Monday, March 9, 2009
රාජ උදහසින් ගැලවෙන්නට කල අරුම පුදුම කාව්‍යයය
Subscribe to:
Post Comments (Atom)
අපූරු තොරතුරක්
මටත් කවිය නම් තෝරගන්න තේරෙන්නේ නැහැ. ඔයාට බොහෝම ස්තූතියි මේ දේ ගැන කිව්වට. මම අදමයි මේ ගැන ඇහුවේ.
ආහ් ගොඩාක් ස්තුතිය් මේ ගැන කිව්වට, මම අහලා තිබ්බට අදමයි දැක්කේ!
ඇත්තන්ම අති විශිෂ්ඨයි. නියම තොරතුරක්!