Monday, June 28, 2010

මම වැරදිද.....?



ආදරය කියන්නෙ පරිත්‍යාගයක්, කෙනෙක් තවත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් කරන කැපකිරීමක් වගේ නොයෙකුත් අර්ථ දැක්වීම් ආදරයට දෙන්න පුලුවන්. නමුත් ඇත්තටම ආදරේ කරනවා කියන්නෙ කුමක්ද? මේ මගේ හිතේ සෑහෙන කාලයක් තිස්සෙ වද දෙන ප්‍රශ්නයක්. මගේ පැරණි ලිපියකට ප්‍රතිචාරයක් ලෙස අපේ පිස්සා ද ඇතුලුව කීප දෙනෙකුම මට කියා ඇති දෙයක් තමයි උඹ හරියට ආදරේ කරල නෑ කියන එක. මේක අද ලියන්න හිතුනෙ අදත් මගේ කාර්යාලයේ හිතවතියක් මේ කතාවම කියපු නිසයි.
මේකයි කතාව

ඇය - ‍ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලම නැද්ද ?
මම - හිටියා
ඇය - ඉතින් මොකද උනේ?
මම - එයාගෙ අම්මලාට එයාව ඉක්මනට බන්දලා දෙන්න ඕන උනා. අපේ ගෙදරිනුත් ප්‍රශ්න තිබුන නිසා මම එයාව අතැරියා.......
ඇය - ඔයා ඇත්තටම ආදරේ කරන්න නැතුව ඇති නැත්නම් කොහොමද එකපාරටම අමතක කරන්නෙ?

මම එතනින් එහාට උත්තර දෙන්න ගියේ නෑ. මොකද එහෙම උනා නම් දිග කතාවක් කියන්න වෙන නිසා. නමුත් හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන දේට අද උත්තරයක් දෙන්න හිතුනා. මේ පිලිබඳව ඉතා කුඩා සටහනක් කලකට පෙර පලවූ බ්ලොග් ලිපියක ප්‍රතිචාරයක් ලෙස පල කල අතර මේ ලිපියෙ එන ඇතැම් දේ මම කෙනෙකුට කියන පලමු වෙනි වතාව මෙය වේ. මම දන්න විදියට මම ඇයව අතෑරීමට හේතුව ඇයවත් දන්නෙ නෑ. ඒක නිසා ඇය අදටත් මට වෛර කරනවා ඇති ඇයව රැවටුවා යයි සිතාගෙන.ඒ කාලයේ මා සමග එකම කාර්යාලයේ සේවය කල ඇගේත් මගේත් සම්බන්ධයට ඇගේ දෙමාපියන්ගේ කැමැත්ත ඉතා අසීරුවෙන් ලබා ගත්තත් මාගේ දෙමාපියන් එතරම් ඉක්මනින් කැමති කරවා ගත නොහැකි විය. ඒ අතරම ඇගේ දෙමාපියන් හට ඇයව කා හට හෝ ඉක්මනින් විවාහ කර දී ඇගෙන් නිදහස් වීමට අවශ්‍ය වුනු අතර ඊට ප්‍රධානම බාධාව මා විය. මේ කාලයේදී මා රැකියාවෙන්ද ඉවත්ව සිටි අතර මාගේ දෙමාපියන්ගේ කැමැත්ත මත හෝ ඇයව විවාහ කර ගැනීමට තරම් මානසිකත්වයක්ද මා හට නොවීය. මේ අතරතුර කාලයේදීම සිදුවූ මාගේ සොයුරියගේ විවාහයත් එම විවාහය දෙමාපියන්ගේ අකැමැත්ත මත සිදුවීමත් හේතුවෙන් තවත් පැත්තකින් මා හට දෙමාපියන් ගැන තිබූ වගකීම ද දෙගුන තෙගුන විය. මේ කාලය තුල ඇයට ඇයගේ දෙමාපියන් ගෙන ආ විවාහ යෝජනා සහ විවාහ වීම සඳහා ඇයගේ නිවසින් එල්ලවන දැවැන්ත පීඩනයත් මා කෙරෙහි ඇති ආදරයත් අතර ඇය ගිරයට අහු වූ පුවක් ගෙඩියක් මෙන් දුක් විඳින්නට විය. තම දරුවන් වෙනුවෙන් තම ජිවිතයේ සුන්දරම කාලය කැප කල මාපිය යුවලකගේ එක් දරුවෙක් ඔවුන්ගේ සිහින බිඳ දැමු පසු මටත් මාගේ සතුට වෙනුවෙන් ඔවුන්ගේ සිත් බිඳවිය හැකිද?? එසේම හිමි වේ යැයි කිසිසේත්ම සිතා ගත නොහැකි දෙමාපියන්ගේ ආශීර්වාදය කවදා හෝ ලැබෙන තුරු ඇයට විඳවමින් හිඳින්නට අරින්නද?
මා දන්නා තරමින් මා ඇයව අතැර ටික කලකින්ම ඇය කිසිවකු සමග විවාහ වී මේ වන විට දරුවන්ද ලබා සාර්ථක යුග දිවියක් ගත කරයි. ඇත්තටම මා ඇයව අතෑරීම තුලින් මා බලාපොරොත්තු වූ ඇයගේ සතුට ඇයට දැන් ලැබී ඇත. විවාහයත් සමග දෙමාපියන් හා විරසක වු මාගේ සොයුරියටද දැන් දෙමාපිය ආශීර්වාදය ලැබී ඇත. කාලයත් සමගම ඔත්පලව තිබූ මා දෙමාපියන්ගේ සිත් ද දැන් නිට්ටාවටම සුවපත් වූ බවක් පෙනේ. ඉතින් මා ඒ අවස්ථාවේ ගත් තීරණය වැරදිද? මම ඇත්තටම ආදරේ කරලා නැද්ද??? ඇයි මගෙන් මේ ප්‍රශ්නෙ අහන අය උඹ එයාව අතැරියද නැත්නම් අමතක කලාද කියල නාහන්නෙ? එහෙම ඇහුවොත් මට බය නැතුව දෙන්න උත්තරයක් තියෙනවා. ඒ තමයි මම ඇයව අතැරියාට ඇය තාමත් මගේ මතකයේ සිටින බව.......



Related Articles by Categories


5 ප්‍රතිචාර:

  • චමිදේවා said...
     

    No comments....

    මම දකින විදියට ඕක තමා ආදරේ කියන්නේ...

  • Anonymous said...
     

    එක එක්කෙනා ආදරේ කරන විධි වෙනස්ද මන්දා මචං..

    උඹ ලෝකේ හැමෝම ගැන හිතුවාට තමුන්ට ආදරේ කරන්නේ නෑ.. උඹ තමුන්ට ආදරේ කරානම්, ඔහොම තීරනයක් ගන්නේ නෑ නේද? ගත්තු තීරනය ගැන, උඹ දැන් විදවනවා, මුළු ලෝකෙටම හොරෙන් විදවනවා.. ඒත් උඹ ලෝකේට පෙන්වනවා මම අම්මලාගේ සතුට දැකලා සතුටු වෙනවා, ගෑනු ලමයා ලස්සනට ඉන්නවා දැකලා සතුටු වෙනවා අනං මනං කියලා.. ඒක හිත හදා ගන්න උපක්‍රමයක් විතරයි බං.. ඇත්ත ඒක නෙමෙයි.. උඹ ඇත්තටම කැමති ඒ ළමයා එක්ක ඉන්න තිබුනා නම් නේද?

    අනිත් එක, ඒ ගෑනු ලමයා සතුටින්ද අසතුටින්ද කියලා උඹ කොහොමද හිතන්නේ... ඒකිත් උඹ ගැන හිතනවා ඇති,සමහර විට..

    කොහොම උනත් ඉන්න දීපංකරේක පරිස්සමින් හිටහං.. දැන් ඕවා අතීත කතා විතරයි..

  • dinesh said...
     

    අයියෙ.,උඹ ඒ කෙල්ලට ඇත්තටම ආදරේ කරල නෑ.ඔයා හිතල තියෙන්නෙ ඔයා ගැන විතරයි.කෙල්ලෙකුට ඇත්තටම ආදරේ කරනවනම් මොන ප්‍රශ්ණ ආවත් එයාව මැරි කරනවමයි.

  • Anonymous said...
     

    කොල්ලන්ගේ හිත් හරි පුදුමයි. ඇත්තටම මට නම් හරිම ප්‍රහේලිකාවක්. සමහර වෙලාවට පුදුම තරම් ආදරෙයි ඒ වගේම අනිත් අතට එයාල ඉන්නේ ගැහැණු ළමයව අදුරන්නෙවත් නැති ගානට. එයාට අපිව කරදරයක්ද දන්නෙ නැහැ කියල එයාගෙන් අයින් වුනාම ආයෙත් ආදරේ පානව...

    සමහර වෙලාවට කිසිම හේතුවක් නැතිව අතරමඟ අතහැරල යනව. මට නම් පිරිමි හිත හිතා ගන්න බැහැ.

    ඔයා එයාට ඇත්තම කීවනම් අද ඔයත් සතුටින් ඇයත් සතුටින්.

    කොහොම වුනත් හැමදේටම කාලය තමයි විසදුම. ලැබෙන්න තියෙනම් ලැබෙනව. ඔයාට හිමි කෙනා කවදහරි ඔයා ලගට එයි....

    පිරිමි හිත පසු තැවෙන්න නරකයි. සතුටින් ඉන්න...

  • ගීත් (සහෘදයා) said...
     

    උබ සැබෑම පෙම් වතෙක් මචං. මම හිතන්නේ නැහැ ආදරය කරන කෙනා හොදින් හෝ නරකින් තමාගෙම වෙන්න ඕනය කියලා. ලැබීම් නොලැබීම් සිදුවනුයේ කාලයාට හෝ සියළු ක්රි යාකාරකම් පාලනය කරන කෙනෙක් වේ නම් ඔහුට ඕනා ආකාරයටය. අපි කොපමන මැරීගෙන ආදරය කලත් කාලයක් තිස්සේ දිවි හිමියෙන් කැපකිරීම් කරමින් දරුවන් හදා වඩා ලොකු මහත් කල දෙමාපියන්ට දුකක් දීලා ඒ වගේ එක් වීමකින් හිතට සැන සීමක් තියෙයිද?

Grab this Widget ~ Blogger Accessories