Sunday, October 24, 2010
Thursday, September 9, 2010
Monday, June 28, 2010
මම වැරදිද.....?
ආදරය කියන්නෙ පරිත්‍යාගයක්, කෙනෙක් තවත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් කරන කැපකිරීමක් වගේ නොයෙකුත් අර්ථ දැක්වීම් ආදරයට දෙන්න පුලුවන්. නමුත් ඇත්තටම ආදරේ කරනවා කියන්නෙ කුමක්ද? මේ මගේ හිතේ සෑහෙන කාලයක් තිස්සෙ වද දෙන ප්‍රශ්නයක්. මගේ පැරණි ලිපියකට ප්‍රතිචාරයක් ලෙස අපේ පිස්සා ද ඇතුලුව කීප දෙනෙකුම මට කියා ඇති දෙයක් තමයි උඹ හරියට ආදරේ කරල නෑ කියන එක. මේක අද ලියන්න හිතුනෙ අදත් මගේ කාර්යාලයේ හිතවතියක් මේ කතාවම කියපු නිසයි.
මේකයි කතාව
ඇය - ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලම නැද්ද ?
මම - හිටියා
ඇය - ඉතින් මොකද උනේ?
මම - එයාගෙ අම්මලාට එයාව ඉක්මනට බන්දලා දෙන්න ඕන උනා. අපේ ගෙදරිනුත් ප්‍රශ්න තිබුන නිසා මම එයාව අතැරියා.......
ඇය - ඔයා ඇත්තටම ආදරේ කරන්න නැතුව ඇති නැත්නම් කොහොමද එකපාරටම අමතක කරන්නෙ?
මම එතනින් එහාට උත්තර දෙන්න ගියේ නෑ. මොකද එහෙම උනා නම් දිග කතාවක් කියන්න වෙන නිසා. නමුත් හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන දේට අද උත්තරයක් දෙන්න හිතුනා. මේ පිලිබඳව ඉතා කුඩා සටහනක් කලකට පෙර පලවූ බ්ලොග් ලිපියක ප්‍රතිචාරයක් ලෙස පල කල අතර මේ ලිපියෙ එන ඇතැම් දේ මම කෙනෙකුට කියන පලමු වෙනි වතාව මෙය වේ. මම දන්න විදියට මම ඇයව අතෑරීමට හේතුව ඇයවත් දන්නෙ නෑ. ඒක නිසා ඇය අදටත් මට වෛර කරනවා ඇති ඇයව රැවටුවා යයි සිතාගෙන.ඒ කාලයේ මා සමග එකම කාර්යාලයේ සේවය කල ඇගේත් මගේත් සම්බන්ධයට ඇගේ දෙමාපියන්ගේ කැමැත්ත ඉතා අසීරුවෙන් ලබා ගත්තත් මාගේ දෙමාපියන් එතරම් ඉක්මනින් කැමති කරවා ගත නොහැකි විය. ඒ අතරම ඇගේ දෙමාපියන් හට ඇයව කා හට හෝ ඉක්මනින් විවාහ කර දී ඇගෙන් නිදහස් වීමට අවශ්‍ය වුනු අතර ඊට ප්‍රධානම බාධාව මා විය. මේ කාලයේදී මා රැකියාවෙන්ද ඉවත්ව සිටි අතර මාගේ දෙමාපියන්ගේ කැමැත්ත මත හෝ ඇයව විවාහ කර ගැනීමට තරම් මානසිකත්වයක්ද මා හට නොවීය. මේ අතරතුර කාලයේදීම සිදුවූ මාගේ සොයුරියගේ විවාහයත් එම විවාහය දෙමාපියන්ගේ අකැමැත්ත මත සිදුවීමත් හේතුවෙන් තවත් පැත්තකින් මා හට දෙමාපියන් ගැන තිබූ වගකීම ද දෙගුන තෙගුන විය. මේ කාලය තුල ඇයට ඇයගේ දෙමාපියන් ගෙන ආ විවාහ යෝජනා සහ විවාහ වීම සඳහා ඇයගේ නිවසින් එල්ලවන දැවැන්ත පීඩනයත් මා කෙරෙහි ඇති ආදරයත් අතර ඇය ගිරයට අහු වූ පුවක් ගෙඩියක් මෙන් දුක් විඳින්නට විය. තම දරුවන් වෙනුවෙන් තම ජිවිතයේ සුන්දරම කාලය කැප කල මාපිය යුවලකගේ එක් දරුවෙක් ඔවුන්ගේ සිහින බිඳ දැමු පසු මටත් මාගේ සතුට වෙනුවෙන් ඔවුන්ගේ සිත් බිඳවිය හැකිද?? එසේම හිමි වේ යැයි කිසිසේත්ම සිතා ගත නොහැකි දෙමාපියන්ගේ ආශීර්වාදය කවදා හෝ ලැබෙන තුරු ඇයට විඳවමින් හිඳින්නට අරින්නද?
මා දන්නා තරමින් මා ඇයව අතැර ටික කලකින්ම ඇය කිසිවකු සමග විවාහ වී මේ වන විට දරුවන්ද ලබා සාර්ථක යුග දිවියක් ගත කරයි. ඇත්තටම මා ඇයව අතෑරීම තුලින් මා බලාපොරොත්තු වූ ඇයගේ සතුට ඇයට දැන් ලැබී ඇත. විවාහයත් සමග දෙමාපියන් හා විරසක වු මාගේ සොයුරියටද දැන් දෙමාපිය ආශීර්වාදය ලැබී ඇත. කාලයත් සමගම ඔත්පලව තිබූ මා දෙමාපියන්ගේ සිත් ද දැන් නිට්ටාවටම සුවපත් වූ බවක් පෙනේ. ඉතින් මා ඒ අවස්ථාවේ ගත් තීරණය වැරදිද? මම ඇත්තටම ආදරේ කරලා නැද්ද??? ඇයි මගෙන් මේ ප්‍රශ්නෙ අහන අය උඹ එයාව අතැරියද නැත්නම් අමතක කලාද කියල නාහන්නෙ? එහෙම ඇහුවොත් මට බය නැතුව දෙන්න උත්තරයක් තියෙනවා. ඒ තමයි මම ඇයව අතැරියාට ඇය තාමත් මගේ මතකයේ සිටින බව.......
Monday, June 7, 2010
නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි.........!
නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමිඑනමුදු එය වරදක් බව දන්නෙමිපෙම් නොකරන්නට සිතුවද ඔබ වෙතසෙනෙහස ලියලයි නොදැනිම හද මැදමදහස දුන්නද දකින වෙලේඔබ මෙහි එන බව සිතිය නොහේකලයුතු කිසිවක් හිතට නොයේමගෙ සිතිවිලි එක තැනක නොවේනිරතුරු මම ඔබ ....../දෙදනා සැනසුම ලැබිය යුතුයිදිවි ඇති තුරු ලඟ සිටිය යුතුයිඅප එක සෙවනක විසිය යුතුයිනැත නැත අප එක් නොවිය යුතුයිනිරතුරු මම ඔබ ....../පැරණි ගීත වලට ආස කරන අයට නම් මේ සිංදුව මතක ඇති. මිල්ටන් මල්ලවආරච්චිගෙ මම ආසම හදවතට දැනෙන ගීත වලින් එකක්.මෙතනින් බාගෙන අහන්න
Sunday, May 30, 2010
මේ දවස් වල ජීවිතේ
මේ දවස් වල ජීවිතේ නම් හරිම විවිධාකාරයි. පහුගිය අවුරුදු හතරක විතර කාලයක් ගත කරපු ඒකාකාර ජීවිතය මේ වෙනකොට සෑහෙන වෙනසකට ලක් වෙලා කියල මට දැනෙනවා. නමුත් ඒ වෙනසට හේතුවත් පහුගිය අවුරුදු හතරම කියලත් මට හිතෙනවා.
2010 අවුරුද්ද ආරම්භයත් සමගම මගේ රැකියා ජීවිතයේ ගන්ධබ්භ කාලයක් ඒ කියන්නෙ සේවාස්ථ පුහුණු කාලයක් ආරම්භ උනා. නමුත් ඒ සඳහා මා නුවර ශාඛාවට අනුයුක්ත කල බැවින් ගම රට අතැර යන්නත් වුනා. දැන් වැඩිය බලොග් එක පැත්තෙ එවෙන්නෙ නැත්තෙත් ඒකයි. සතියකට සැරයක් ගෙදර ආපු වෙලාවට ඉඩක් තිබුනොත් මොනවා හරි කුරුටු ගාල යනවා ඇරෙන්න ඉස්සර වගේ මේකටම වෙලා ඉන්න අවස්ථාවක් නැහැ දැන්. වෙලාව තිබුනත් සතියක් තිස්සෙ මම එනකම් තනියම ගෙදර ඉන්න අම්මත් එක්ක වචනයක් කතා නොකර කොම්පීතරේ අල්ලගත්තොත් ඒක කොච්චර අසාධාරණද?
නුවර ජීවිතේ නම් වරදක් නැහැ. ඒත් හවස් වෙනකොට තමයි එපා වෙන්නෙ. සේවය නිමවෙලා නවාතැනට ගියාම හිතට දැනෙන්නෙ මහා පාලු මූසල කම්මැලි කමක්. තනි කමක්. දුරකතනය තිබුනට මගේ තනිකම නැති කරගන්න හැමදාම යාලුවන්ට කතා කරල ඒ අයට වදයක් වෙන්නත් බෑනෙ. මුලින් මුලින් හවසට ගන්නොරුව සිට පේරාදෙනියටත් නැවත පේරාදෙනියේ සිට ගන්නොරුවටත් ඇවිදිමට පුරුදුව සිටියත් වැස්ස පටන් ගත්තට පස්සේ ඒකත් නැවතුනා.
මේ දවස් වල නම් ටිකක් වැඩිපුර නිවාඩු තියෙනවා. හැම අවුරුද්දකම වගේ මේ කාලය සංචාරක ව්‍යාපාරයේ off season එක නිසා මේ දවස් වල අපිට අවස් තුනක් වැඩ කලාම දවස් තුනක් නිවාඩු ලැබෙනවා. එහෙම කරන්නෙ මේ කාලෙට ආයතනයේ වියදම අඩු කර ගන්නයි. මට ඉතින් දවස් තුනෙන් තුනට කොළඹ එන්නයි නුවර යන්නයි බැරි නිසා දවස් පහක් වැඩ කරල දවස් පහක් නිවාඩු ගන්නවා. අදින් මගේ දවස් පහක එක නිවාඩුවක් ඉවරයි. දැන් නම් හෙට උදේ යන්න තියෙනව කියල හිතනකොටත් හරි කම්මැලියි.
නිවාඩු දවස් ටිකේ බ්ලොග් එකේ මොනව හරි ලියන්න කියල හිතනකොට මාස ගානක් තිස්සෙ ලියවෙන්නෙ නැතුව හිතේ හිරවෙලා හිටපු වචන එකකට එකක් යටකරගෙන එලියට පනින්න හදන නිසා කිසිම දෙයක් හරියට ලියා ගන්න බැහැ. දැන් මම තීරණයක් ගත්තා හිතේ තියෙන දේවල් දින පොතක ලියන්න. එතකොට වෙලාව තියෙන විදියට ඒවා බ්ලොග් එකට පිටපත් කරන්න පුලුවන්නෙ.
Monday, May 17, 2010
ඔබ මට හිමි නෑ.......
අපට අප අහිමි බව
දනිමු අප දෙදෙනාම
ඒත් ඇයි වෙන්වන්න
මැලි කමක් මේ තරම්
කඳුලැලි සඟවා අප දෙනෙතේ
අන්සතු වෙමු අපි මේ භවයේ
බාධක දුරලූ ලොවක දකින්නට
පෙරුම් පුරමු මතු උපදින භවයේ
Wednesday, April 28, 2010
Saturday, March 6, 2010
Wednesday, February 17, 2010
Tuesday, February 2, 2010
මුළු හදින් මම ඇයට පෙම් කොට............
මා රසවිඳ ඇති බොහොමයක් ගීත වලට බොහෝවිට පදනම් වෙලා තියෙන්නෙ ඒ ඒ ගීත රචකයන්ගේම පෞද්ගලික ජීවිත අද්දැකීම්. මේ ගීතයත් එහෙමමයි. හැමදාම හවසට තමන්ව මුණගැසීමට පැමිණෙන තම පෙම්වතිය එක් දිනක් නොපැමිණීම නිසා තමයි රචකයා අතින් මේ ගීය ලියවිලා තියෙන්නෙ. ඔහු නමින් ආරියදාස එඩ්මන්ඩ් පෙරේරා ජයසූරිය. අනුරාධපුරයේ හිටපු දිසාපතිවරයෙක්. මේ රචකයා අතින් ලියවුනු එකම ගීතය මෙය වීම සහ මෙය ගායනා කරන නාරද දිසාසේකරයන් සහ ගීත රචකයා එකම පන්තියක අධ්‍යාපනය ලැබූ මිතුරන් වීම මේ ගීතයේ තවත් විශේෂත්වයකි.
එක දවසක් දකින්නෙ නැතුව මෙහෙම ගීතයක් ලියවුනා නම් ඔහු ඇයට කොච්චර ආදරය කරන්නට ඇත්ද? ගීතයෙ එහෙම ලියවිලා තිබුනට ඇත්ත ජීවිතේදි නම් ඔවුන් දෙන්නා විවාහ වෙලා තියෙනවා. වැඩි විස්තර මෙතනින් බලන්න.
Friday, January 29, 2010
කලකට පස්සේ........
හෆ්ෆා...... ගිය සිකුරාදා(22) ඉදන්ම කියවලත් තවම මේ බ්ලොග් ටික කියවල ඉවර කර ගන්න බැරි උනානෙ. සති දෙකකට පස්සෙ ගිය සිකුරාදා තමයි ගෙදර ආවෙ. ආ කියන්න අමතක උනා මම දැන් වැඩ කරන්නෙ නුවරනෙ. කොළඹදි වගේ නෙවෙයි එහෙදි බ්ලොග් කියවන්න වෙලාවකුත් නෑ. තිබුනත් මම පරිගනක අංශයෙන් ඉවත් උනු නිසා කොම්පීතරේකුත් නෑ මටම කියලා.කාලෙකින් මේ පැත්තේ ආවෙ නැති නිසයි පොඩි සටහනක් දාල යන්න ආවෙ. එහෙනම් මම යනවා ආයෙත් බලොග් ටික කියවන්න. ඉඩක් ලැබුනු ගමන් අලුත් දෙයක් ලියන්නම්.
Sunday, January 3, 2010
සිංහලයේ අවසන් රජ මාළිගය
ශ්‍රී දළදා මාලිගාව, සිංහලයේ අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මාලිගය ලෙසට වැරදි මතයක් අප බෙහෝ දෙනෙකු තුල ඇත.ඉහත රූපයේ දක්වා ඇත්තේ 1815 දී සුද්දන් විසින් ගිනිබත් කරන ලදුව පසු කාලීනව සංරක්ෂනය කරන ලද නියම රජ මාලිගයයි.
පසුගිය දිනෙක නුවර ගිය විටෙක මීට අවුරුදු විස්සකට පමණ පෙර පාසැල් අධ්‍යාපන චාරිකාවකදී මේ මාලිගය නැරඹීමට ගිය මතකය නැවත අලුත් උනා. මෙය පිහිටා තිබෙන්නේ ශ්‍රී දළදා මාලිගාවට වම් පසින් රාජා ඇතාගේ කෞතුකාගාරයට යාබදවයි. නමුත් ආරක්ෂක හේතූන් නිසා ඒ පැත්තෙන් මෙයට ඇතුලු විය නොහැක. මෙහි පිවිසීමට නම් නාථ දේවාල භූමිය මැදින් ඇති මාර්ගයේ ගමන් කල යුතුය.
මෙහි පිවිස අරමුණක් නැතිව ඒ මේ අත ඇවිදිමින් සිටි මට එහි සිටි අපූරු පුද්ගලයෙක් මුණ ගැසුනි. ඔහු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව මෙහි සේවයේ යොදවා ඇති නිලධාරි මහතෙකි. රජ කතා වල පමණක් අසා තිබුනු සීමැදුරු කවුළුව, රජ කාලයේ භාවිතා වූ වායු සමීකරණයක් (මෙය විශාල අවානක් වැනි දෙයකි) වැනි ඉතා වටිනා පුරා වස්තු රාශියක් ඔහු විසින් මා හට පෙන්වා දී ඒ පිලිබදව ඉතා ගැඹුරු විස්තරයක්ද ලබා දුන්නේය. ඔහු පැවසූ පරිදි සුද්දන් මෙය ගිනිලන්නට පෙර මෙහි මහල් තුනක් තිබී ඇත. නමුත් ගින්නෙන් විනාශ නොවී ඉතිරිව ඇත්තේ මේ කොටස පමණය.
ඔහු පැවසූ ආකාරයට දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට පැමිනෙන මහා ජනකායෙන් සියයට එකක්වත් දෙනා මේ මාලිගය නැරඹීමට නොපැමිනේ. මා ගිය දිනයේත් දළදා මාලිගාව තුල ඇඟිල්ලක් ගැහීමටවත් ඉඩක් නොමැති වුවත් එදා දවසටම මෙම මාලිගය වෙත පැමිණ ඇත්තේ මා පමනකි. එය එක්තරා ආකාරයක මගේ වාසනාවකි. මා හට මුන ගැසුනු පුද්ගලයා සමග නිදහසේ දොඩමළු වී ඉතා වැදගත් කරුණු රාශියක් දැනකියා ගැනීමට හැකි වූයේ ඒ නිසාය.
Subscribe to:
Posts (Atom)