Wednesday, August 26, 2009

වසර 12 කට වැඩි මගේ පන්ති තහනම

පාසැලක විදුහල්පතිවරයකු විසින් ශිෂ්‍යයෙකු වෙත පැමිණිය හැකි උපරිම දඬුවම සති දෙකක පන්ති තහනමක් බව රූපවාහිනී නාලිකාවකින් අසන්නට ලැබුනු බැවින් මෙය ලිවීමට සිත්විය. මා ශිෂ්‍යත්ව විභාගය සමත්වී අගනුවර ජාතික පාසැලකට ඇතුලත් වූවකි. 1989 වසරේ පාසැලට ඇතුලත් වන විට සැබවින්ම ගුරු පියකු වූ එවකට සිටි විදුහල්පති තුමා මා පාසැලට ඇතුලත්ව වසරක් යාමට මත්තෙන්ම විශ්‍රාම ගියේය.
ඉන් පසු විදුහල්පති ලෙස පත්ව ආවේද සුදුසුකම් හා අත්දැකීම් වලින් අනූන ගුරු පියෙකි. එතුමාගේ සේවා කාලය වසර දෙක තුනකට නොවැඩි වුවත් ඒ කාලය තුල අප පාසැලේ ශීෂ්‍යයන් කිනම් තැනකදී වුවද මේ අසවල් පාසැලේ ශිෂ්‍යයෙක්ය ලෙස හඳුනා ගත හැකි වන ලෙස පාසැල් විනය මගින් අපහට අනන්‍යතාවයක් ගොඩ නගා දුන්නේය. මෝසා යනුවෙන් සිසුන් අතර ප්‍රසිද්ධ වූ, අඩි පහක් තරම්වත් උස නොවූ ඔහු වෙත අප එදා දැක්වූයේ බයක්ද, ගෞරවයක්ද යන්න අදටත් ප්‍රහේලිකාවක් වන්නේ ඔහු තරමක් දරුණු පාලකයකු ලෙස ප්‍රසිද්ධව සිටියත් ඔහු සේවයෙන් විශ්‍රාම යන දා අප සියළුදෙනාගේම නෙතට කඳුලක් මතුවූ බැවිනි. "පුතාල මට මෙච්චර ආදරෙයි කියල දන්නව නම් මම මේතරම් ඉක්මනට විශ්‍රාම යන්නෙ නෑ" යනුවෙන් එදා ඔහු පැවසූ වදන් අදත් අප සියළුදෙනා තුලම අදටත් වරදකාර හැඟීමක් නිතැතින්ම ඇතිකරයි. ජාත්‍යන්තර පාසැල් වල විනය පිලිබඳව කතා කරන විය දැනට ඔහු විසින් කොලඹ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර පාසැල ජාතික පාසැලකටත් වඩා ඉදිරියෙන් ඇති බව පැවසිය යුතුමය.
ඉන්පසු විදුහල්පතිවරයෙකු නොමැතිව වසරකට වැඩි ගන්ධබ්භ කාලයක් ගෙවූ පාසැලට කනකොකා හඬන්නේ එවකට සිටි අධ්‍යාපන ඇමතිගේ හෙංචයියකු වූ වනාතමුල්ල ප්‍රදේශයේ පාසැලකින් පන්නා දැමූ පුද්ගලයකු අප පාසැලේ විදුහල්පති ලෙස පත්වීමත් සමගය. ඔහුගේ මුල්ම රාජකාරිය ලෙස ඔහු සිදුකලේ එවකට අප විවේකයක් ලද විටෙක දුව පැන ඇවිදින ලද පාසැල තුලම වූ ගුරු නිවාසය අවට වූ තුරු සෙවන වටකොට තාප්පයක් බැඳ ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා වෙන්කර ගැනීමයි. සාමාන්‍යයෙන් උදෑසන දහයෙන් පමණ පසු ඔහු පුරුද්දක් ලෙස බීමත්ව සිටි බවද නොරහසකි. මේ මා උසස්පෙල හදාරන කාලයයි. එකල අපහට සිටි හොඳම ගුරුවරුන් බොහොමයක් මොහුගේ නොමනා ක්‍රියා හේතුවෙන් පාසැල හැරගිය බවද නොරහසකි. සිසුන් පිරිසක් විසින් යම්කිසි හේතුවක් නිසා කරන ලද වාර විභාග වර්ජනයක කොටස් කරුවකු ලෙසට, අසනීප තත්වයක් හේතුවෙන් විභාගයට නොපැමිණි මාද අසු වන්නේ මේ අතරය. මවිසින් අදාල වෛද්‍ය වාරතා ඉදිරිපත්කල පසු මේ පුද්ගලයා "තමුසේ Cadet කෙනෙක් නේද" යි විමසා " ආයෙත් මම දන්වල එවනකම් ඉස්කෝලෙ එන්න එපා" කියා පැවසුවත් දැනට අවුරුදු 12 කටත් වැඩි කාලයක් ගෙවී ගොසිනුත් තවමත් මාහට පාසැල් එන්න යයි ඔහු විසින් දන්වා එව්වේ නම් නැත. වැරැද්ද මා ශිෂ්‍ය භටයකු වීමය. මගේ වාසනාවකට එකල මාගේ පන්ති භාර ගුරුතුමා මාගේ මිතුරකු අත "මේ යකා තාරකට එන්න කියන්නෙ නෑ. උට ඕක මතකත් නැතුව ඇති. මම කිව්ව කියල තාරකට එන්න කියනව" යනුවෙන් පණිවිඩයක් නොඑවන්නට මාගේ පාසැල් ගමනද එතෙකින් නිමා වන්නට බොහෝ දුරට ඉඩ තිබින. උපාධියක් වත් නැතැයි කියන මේ පුද්ගලයා සිටි කාලය තුල පාසැලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පවා නොපැවැත් වූයේ උපාධි කබාය වෙනුවට වැහි කබායක් වත් පැලඳ ඒමේ අදහසින් වැහි දිනයක් එන තුරු කල් බැලූ නිසා බවටද ඒ දිනවල ප්‍රචාරයක් තිබුනි. වසර කීපයක්ම පාසැල කාබාසිනියා කල මොහුගෙන් පාසැල ගලවා ගැනීමට අවසානයේ ආදිශිෂ්‍ය සංගම් නිලධාරීන්ට පිහිට වූයේ අධිකරණයයි. ඉන් පසුව නම් පාසැලට යහපත් කාලයක් ලබා ඇති බව මෑතකදී පාසැල වෙත ගිය මා හට දැක ගන්නට ලැබුනි.
මෙය අධ්‍යාපනය දේශපාලනීකරනය වීමේ එක් කුඩා ප්‍රතිඵලයක් පමණි. මෙවන් සිදුවීම් වලක්වා ගැනීමට අධ්‍යාපන ක්ෂේත්‍රය සහ පාසැල් තුලින් දේශපාලනය බැහැර කිරීමට පාලකයින් පියවර ගන්නේ නම් යහපත් ශීෂ්‍ය පරම්පරාවක් බිහිකර ගත හැකි අතරම සුන්දර පාසැල් දිවිය මෙවන් අද්දැකීම් වලින් අසුන්දර නොවනු ඇති බව මගේ අදහසයි.



Related Articles by Categories


4 ප්‍රතිචාර:

  • Anonymous said...
     

    ඔව් ඔහොම යක්කු ඉන්නවා උන් ළමයින්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරනවා

  • Unknown said...
     

    හොද වෙලාවට මොළේ හා පිට කොන්දක් තියන ගුරුවරයෙක් පංතිභාරගුරුවරයා වෙලා හිටියේ.. නැත්තං ඉතිං.....!!!!

  • Travel Ceylon said...
     

    දිසා - සහතික ඇත්ත

    සකුණි - නැත්තං ඉතිං මට සොරිම තමයි

  • Unknown said...
     

    ඔව්...දැන්නම් ඉස්කොකේ හැම අතින්ම හොදයි...මම 99 එද්දි තමයි ඔය බේබද්දා ඉස්කෝලෙන් ගියේ....

    කියවද්දි ඔයාගේ ඉස්කොලේ, මගෙ ඉස්කොලෙම තමයි කියලා හිතුනා....

Grab this Widget ~ Blogger Accessories