මට අමතක නැති
නුඹට මතක නැති
අඳුරු අතීතයෙ
සැඟවුනු සෙවනැලි
අඳුරේ වුව ඇයි මේ
මා සමගින් හිනැහෙන්නේ
ඒ සෙවනැලි තුලින් ඔබේ
රුවම ඇයිද මට පෙනුනේ
කතා කරන නිහඬ සුලඟ
තුලින් ඔබය මට ඇසුනේ
මට මෙතරම් රිදුම් දෙන්න
වරද කිමද මා කෙරුවේ
Monday, August 20, 2012
අඳුරු අතීතයෙ සැඟවුනු සෙවනැලි
Thursday, February 23, 2012
සුන්දර ගම්මානේ
මේ දිනවල මා සෙවයේ යෙදී සිටින්නේ දඹුල්ල -හබරණ නගර දෙක අතර මැද පිහිටි දිගන්පතහ පුදේශයේය. සාමාන්‍ය ව්‍යවහාරයේ දිගන්පතන නමින් හැඳින්වෙන්නේද මේ ගමමය. දැනට මාස හතරකට පෙර දිනක මා මෙම ප්‍රදේශයට මාරු කර ඇති බව දැනගත් මොහොතේ මා ඉතා අකැමැත්තෙන් මෙහි ඒමට තීරනය කලෙමි. මා සහ මගේ සහායකයාට නවාතැන් සඳහා කාමර දෙකක් සහිත නිවසක් ආයතනයෙන් ලබා දුනි. පහසුකම් නම් ඉතා අඩුය. නමුත් සරලය. මා පත්වීම ලැබුවේ අප ආයතනයට සම්බන්ධ සංචාරක හෝටලයකට වූ බැවින් කෑම බීම පිළිබඳව නම් ප්‍රශ්නයක් නැත.නමුත් රාජකාරී වේලාව නම් මරේ මරුය. දවල් වරුවම සැපසේ නිදාගෙන හෝ ගම පුරා ඇවිදිමින් කල් ගෙවන අතර රාජකාරිය ආරම්භ වන්නේ හවස 5.00 ට 6.00 ට පමණය. 10.00 ට නැවත ගෙදර යා හැකිය. කොළඹ හෝ නුවර මෙන් වාහන තදබදය අතරින් දාඩිය පෙරාගෙන සේවයට යාමට සිදු නොවේ. පීදීගෙන එන වෙල් යායවල් මැදින් වැව ඉස්මත්තෙන් සේවයට යාම ඉතා සුන්දර අද්දැකීමක් වුවත් එහි භයානක කොටස වන්නේ රාත්‍රියට ආපසු යෑමේදීය. හවස හයෙන් පසු තනියා පාරට එයි. ඊට අමතරව තවත් අලි දෙතුන් දෙනෙකු ඇතැම් දිනවල පැමිණ ඇත. තදින් වැස්සොත් වැව උතුරා පාර අඩි තුන හතරක් යට වෙන නිසා මීටර 500 දුරින් ඇති නවාතැනට යාමට අලි සිටින කැලෑව මැදින් කි.මී 3 ක් පමණ යා යුතුය.ඒ පරිප්පුව නම් දවසක් කෑවෙමි. වාසනාවකට තාම නම් රාත්‍රියේදී අලියෙක් මුනගැසී නැත.
මේ ගම්මානය මෙන්ම බොහොමයක් සුන්දර මිනිසුන් පිරිසක්ද මෙහි වෙති. කොළඹ අපේ ගමකදී කිසිදිනක පිටින් පැමිණි බෝඩින් කාරයෙකුට නොලැබෙන සැලකීමක් ඔවුන් අප කෙරෙහි දක්වති. ජනවාරි 1 වෙනිදා මා සුපුරුදු පරිදි හෝටලයට ගොස් උදේ වේල ගෙන ගෙදර එන විට අපේ නවාතැනට අල්ලපු ගෙදරින් කැවුම් කිරිබත් පිඟානක් එවා තිබින. ඊට කීප දිනකට පසු ගමෙදී දැක පුරුදු කාන්තාවක් උදේම නිවසට ආවාය. "අනේ පුතේ දුවගෙ මඟුල තිබුන. පුතාලට කියන්න බැරි උන නිසා මම මේ කොටහ ඇන්න ආව" යැයි පවසමින් රස කැවිලි පාර්සලයක් මා අත තැබුවාය. ඊට පසු ගමේ තිබු තවත් මගුල් ගෙවල් දෙකකට පමණ අපට සහභාගී වීමට සිදුවිය. මේ .මේ සුන්දර මිනිසුන් අපට අපි සිටින්නේ පිට ගමක බව මොහොතකටවත් දැනෙන්ට නොදී අපව ඔවුන්ගේ කර ගත්හ. අල්ලපු ගෙදරින් සෑම දිනකම උදේට එළකිරි බාගයක් නොවරදවාම ලැබෙන අතර ගමේ තරුණයන් සෙට් වෙන දාට අනිවාර්යෙන් අපටද ආරාධනාවක් ලැබෙයි. හවසට සේවයට යාමට ප්‍රථම අවට ඇති වැව් පහෙන් එකකට ගොස් හිතේ හැටියට නා ගැනීමටද පුලුවන.
නමුත් මේ සුන්දර මිනිසුන් අතර අසුන්දර මිනිසුන්ද නැතිවාම නොවේ. මා මෙහි පැමිණි පළමු දිනම මට හමු වූයේ අපූරු මිතුරෙකි. ඒ මා සේවය නිමවී පැමිණ රාත්‍රී ආහාරය ගනිමින් සිටින අතරය. මාස දෙක තුනක් පමණ වයසැති බලු කුක්කෙක් බඩගින්නේ වෙව්ලමින් පැමිණ මගේ දෙපා පාමුල වැටුනි. එදා සිට දිගටම ඌට තුන් වේලම අපෙන් ලැබුනු නිසා ඌ අප සමගම නතර විය. රාත්‍රියට මගේ කාමරයේ දොර පාමුල නිදා ගන්නා ඌ නැව ආපසු යන්නේ උදේ මා අවදි වී දොර විවෘත කල පසුවය. නමුත් දිනක් ඌ ආවේ නැති අතර පසුවදාද ආවේ නැත. දින දෙකකට පසු ලේ වමනය කර පාරක් අයිනේ ඌ මැරී තිබුනි. කවුරුන් හෝ ඌට වස කවා ඇති බව ගම්මුන් කීවත් අද වනතුරු ඒ පාහර වැඩය කල එකා සොයා ගැනීමට නොහැකි විය. මෙහි බොහෝ මිනිසුන් බල්ලෙකුට තියා තමන්ගේ වගාව හානිකරන , ජීවිත නැති කරන අලියෙකුටවත් කිසිදු අනතුරක් සිදු නොකරයි. මීට ටික කලකට පෙර ගම පුරා ඇවිද කිසිවෙකුටත් හානියක් නොකල අලියෙක් කිසියම් පුද්ගලයෙකුගේ වෙඩි පහරකින් අවසන් ගමන් ගොස් ඇත. ගම්මුන් තවමත් ඒ වෙඩි තැබූ පුද්ගලයා සොයයි. අහු වුන දාට ඔහුටද අවසන් ගමන් යන්නට වනවා නියතය.
මේ ගමට ආ දා පටන්ම නැවත කොළඹට හෝ නුවරට යාමට මාන බලමින් සිටි මා හට තව දින දෙකකින් ඒ අවස්ථාව උදා වෙන නමුත් මේ සුන්දර ගම දමා යන බව හැඟෙන විට වචනයෙන් විස්තර කල නොහැකි හැඟීමක් සිත පුරා දුවන්නේ ඇයි දැයි මට නම් විස්තර කල නොහැක.
Tuesday, January 17, 2012
මතකද ඔබ.. මා.....
1996 හෝ 97 එක්තරා දිනක සවස 7.30 ට පමණ රොටරියේ දෙයියගේ පන්තිය නිමාවී, කොහුවල හංදියට පයින් ගාටන අතර සිදු වූ සිදුවීමක් ඊයේ රාත්‍රියේ එෆ් එම් චැනලයක ගිය ගීතයක් නිසා නැවතත් මතකයට ආවේ කාලයක් තිස්සේ දියයට ඔබා ගෙන සිටි රබර් බෝලයක් මෙනි. එදා වැසි දිනයක් වූ අතර අපේ සෙට් එකටම තිබුනේ කුඩ දෙකක් හෝ තුනක් පමණකි. ඉතින් මගේ කුඩය යටින් හතර දෙනෙකු පමන යමින් සිටින අතර අපේ එකෙක් "ඒයි ..... අන්න උඹේ ලව් එකත් යනවා තනියම කුඩේක. උඹෙ කුඩේ අපිට දීලා තෝ පල ඒකට" කියා මා වැස්සට තල්ලු කලා මදිවට ඇයටද කතා කලේය.(ලව් එක කිව්වට ඇත්තටම ට්‍රයි එකක්)
ආ.. ඇයි තෙමෙන්නෙ එන්න **** මේකට කියා ඇයද පැවසූ බැවින් එදා නුගේගොඩ සිට කොහුවලට ඇය සමග එකම කුඩය යටින් එන්නට අවස්ථාව ලදිම. මේ ගීතයේ පැවසෙන පරිදිම ගෑවී නොගෑවීය. පසු කලෙක අප දෙදෙනා කලක් පෙම්වතුන් වූවද අවසන මතකයන් පමණක් ඉතිරි කර ගනිමින් අපි වෙන් වුනෙමු. ඇත්තටම පෙම්වතුන් සේ එකම කුඩයක් යටින් යනවාට වඩා අමුතුම තෘප්තිකර හැඟීමක් තමන් හිතින් ආදරය කරන කෙනෙකු සමග යනවිට දැනෙන බව නම් සැබෑය.
එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ . . .
මතකද ඔබ මා පියවර මැන්නා
පිනිමල් වරුසාවේ . . .
කිසිවකු සමඟින් එකට තුරුළු වී
ඉර බැස යන වේලේ . . .
ඔබ යනු දුටුවිට මතකය රිදවයි
අපෙ ඉස්සර කාලේ අපේ ඉස්සර කාලේ
මඳ අව් රස්නෙට වුව සෙවනක් නැත
ඔබහට අද දවසේ . . .
වැස්සට අව්වට තනිව මුහුන දෙමි
මගේ මහිම එලෙසේ මගේ මහිම එලෙසේ . . .
Saturday, December 31, 2011
2012 සුභ අලුත් අවුරුද්දක් වේවා..
අවුරුද්දකටත් වැඩි කාලයක් අතෑරල දාල තිබුනු බ්ලොග් ලියවිල්ල 2012 අවුරුද්දෙ ඉදන් ආයෙත් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නෙ. පහුගිය කාලෙ මූන දෙන්න වුනු ජීවිතේ නොයෙකුත් හැල හැප්පීම් එක්ක බලොග් ලියන්න තරම් නිදහස් මානසික තත්වයක් තිබුනේ නැති එක තමයි නිහඬතාවයට හේතුව. මම නොලිව්වනොට අනිත් අය ලියන දේවල් නම් සෑහෙන දුරට කියෙව්වා. මම ලියන්න පටන් ගත්ත කාලෙට වඩා සෑහෙන බ්ලොග් ප්‍රමාණයක් දැන් ලියවෙනවා වගේම ඒ දවස් වල ලියවුනු මම ආසාවෙන් කියවපු බ්ලොග් වලින් දුකා ගෙ බ්ලොග් එක විතරයි ඉඳල හිටලවත් සින්ඩියෙ තියෙන්නෙ. 2012 දි නැවතත් පරණ බලොග් අලුතෙන් ලියවෙයි කියල මම හිතනව.
එහෙනම් එදා මෙදාතුර ජීවිත අද්දැකීම් සමග 2012දි හමුවෙන බලාපොරොත්තුවෙන් හැමෝටම 2012 සුභ වේවා කියල ප්‍රාර්ථනා කරනව.
Sunday, October 24, 2010
Thursday, September 9, 2010
Monday, June 28, 2010
මම වැරදිද.....?
ආදරය කියන්නෙ පරිත්‍යාගයක්, කෙනෙක් තවත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් කරන කැපකිරීමක් වගේ නොයෙකුත් අර්ථ දැක්වීම් ආදරයට දෙන්න පුලුවන්. නමුත් ඇත්තටම ආදරේ කරනවා කියන්නෙ කුමක්ද? මේ මගේ හිතේ සෑහෙන කාලයක් තිස්සෙ වද දෙන ප්‍රශ්නයක්. මගේ පැරණි ලිපියකට ප්‍රතිචාරයක් ලෙස අපේ පිස්සා ද ඇතුලුව කීප දෙනෙකුම මට කියා ඇති දෙයක් තමයි උඹ හරියට ආදරේ කරල නෑ කියන එක. මේක අද ලියන්න හිතුනෙ අදත් මගේ කාර්යාලයේ හිතවතියක් මේ කතාවම කියපු නිසයි.
මේකයි කතාව
ඇය - ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලම නැද්ද ?
මම - හිටියා
ඇය - ඉතින් මොකද උනේ?
මම - එයාගෙ අම්මලාට එයාව ඉක්මනට බන්දලා දෙන්න ඕන උනා. අපේ ගෙදරිනුත් ප්‍රශ්න තිබුන නිසා මම එයාව අතැරියා.......
ඇය - ඔයා ඇත්තටම ආදරේ කරන්න නැතුව ඇති නැත්නම් කොහොමද එකපාරටම අමතක කරන්නෙ?
මම එතනින් එහාට උත්තර දෙන්න ගියේ නෑ. මොකද එහෙම උනා නම් දිග කතාවක් කියන්න වෙන නිසා. නමුත් හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන දේට අද උත්තරයක් දෙන්න හිතුනා. මේ පිලිබඳව ඉතා කුඩා සටහනක් කලකට පෙර පලවූ බ්ලොග් ලිපියක ප්‍රතිචාරයක් ලෙස පල කල අතර මේ ලිපියෙ එන ඇතැම් දේ මම කෙනෙකුට කියන පලමු වෙනි වතාව මෙය වේ. මම දන්න විදියට මම ඇයව අතෑරීමට හේතුව ඇයවත් දන්නෙ නෑ. ඒක නිසා ඇය අදටත් මට වෛර කරනවා ඇති ඇයව රැවටුවා යයි සිතාගෙන.ඒ කාලයේ මා සමග එකම කාර්යාලයේ සේවය කල ඇගේත් මගේත් සම්බන්ධයට ඇගේ දෙමාපියන්ගේ කැමැත්ත ඉතා අසීරුවෙන් ලබා ගත්තත් මාගේ දෙමාපියන් එතරම් ඉක්මනින් කැමති කරවා ගත නොහැකි විය. ඒ අතරම ඇගේ දෙමාපියන් හට ඇයව කා හට හෝ ඉක්මනින් විවාහ කර දී ඇගෙන් නිදහස් වීමට අවශ්‍ය වුනු අතර ඊට ප්‍රධානම බාධාව මා විය. මේ කාලයේදී මා රැකියාවෙන්ද ඉවත්ව සිටි අතර මාගේ දෙමාපියන්ගේ කැමැත්ත මත හෝ ඇයව විවාහ කර ගැනීමට තරම් මානසිකත්වයක්ද මා හට නොවීය. මේ අතරතුර කාලයේදීම සිදුවූ මාගේ සොයුරියගේ විවාහයත් එම විවාහය දෙමාපියන්ගේ අකැමැත්ත මත සිදුවීමත් හේතුවෙන් තවත් පැත්තකින් මා හට දෙමාපියන් ගැන තිබූ වගකීම ද දෙගුන තෙගුන විය. මේ කාලය තුල ඇයට ඇයගේ දෙමාපියන් ගෙන ආ විවාහ යෝජනා සහ විවාහ වීම සඳහා ඇයගේ නිවසින් එල්ලවන දැවැන්ත පීඩනයත් මා කෙරෙහි ඇති ආදරයත් අතර ඇය ගිරයට අහු වූ පුවක් ගෙඩියක් මෙන් දුක් විඳින්නට විය. තම දරුවන් වෙනුවෙන් තම ජිවිතයේ සුන්දරම කාලය කැප කල මාපිය යුවලකගේ එක් දරුවෙක් ඔවුන්ගේ සිහින බිඳ දැමු පසු මටත් මාගේ සතුට වෙනුවෙන් ඔවුන්ගේ සිත් බිඳවිය හැකිද?? එසේම හිමි වේ යැයි කිසිසේත්ම සිතා ගත නොහැකි දෙමාපියන්ගේ ආශීර්වාදය කවදා හෝ ලැබෙන තුරු ඇයට විඳවමින් හිඳින්නට අරින්නද?
මා දන්නා තරමින් මා ඇයව අතැර ටික කලකින්ම ඇය කිසිවකු සමග විවාහ වී මේ වන විට දරුවන්ද ලබා සාර්ථක යුග දිවියක් ගත කරයි. ඇත්තටම මා ඇයව අතෑරීම තුලින් මා බලාපොරොත්තු වූ ඇයගේ සතුට ඇයට දැන් ලැබී ඇත. විවාහයත් සමග දෙමාපියන් හා විරසක වු මාගේ සොයුරියටද දැන් දෙමාපිය ආශීර්වාදය ලැබී ඇත. කාලයත් සමගම ඔත්පලව තිබූ මා දෙමාපියන්ගේ සිත් ද දැන් නිට්ටාවටම සුවපත් වූ බවක් පෙනේ. ඉතින් මා ඒ අවස්ථාවේ ගත් තීරණය වැරදිද? මම ඇත්තටම ආදරේ කරලා නැද්ද??? ඇයි මගෙන් මේ ප්‍රශ්නෙ අහන අය උඹ එයාව අතැරියද නැත්නම් අමතක කලාද කියල නාහන්නෙ? එහෙම ඇහුවොත් මට බය නැතුව දෙන්න උත්තරයක් තියෙනවා. ඒ තමයි මම ඇයව අතැරියාට ඇය තාමත් මගේ මතකයේ සිටින බව.......
Monday, June 7, 2010
නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි.........!
නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමිඑනමුදු එය වරදක් බව දන්නෙමිපෙම් නොකරන්නට සිතුවද ඔබ වෙතසෙනෙහස ලියලයි නොදැනිම හද මැදමදහස දුන්නද දකින වෙලේඔබ මෙහි එන බව සිතිය නොහේකලයුතු කිසිවක් හිතට නොයේමගෙ සිතිවිලි එක තැනක නොවේනිරතුරු මම ඔබ ....../දෙදනා සැනසුම ලැබිය යුතුයිදිවි ඇති තුරු ලඟ සිටිය යුතුයිඅප එක සෙවනක විසිය යුතුයිනැත නැත අප එක් නොවිය යුතුයිනිරතුරු මම ඔබ ....../පැරණි ගීත වලට ආස කරන අයට නම් මේ සිංදුව මතක ඇති. මිල්ටන් මල්ලවආරච්චිගෙ මම ආසම හදවතට දැනෙන ගීත වලින් එකක්.මෙතනින් බාගෙන අහන්න
Sunday, May 30, 2010
මේ දවස් වල ජීවිතේ
මේ දවස් වල ජීවිතේ නම් හරිම විවිධාකාරයි. පහුගිය අවුරුදු හතරක විතර කාලයක් ගත කරපු ඒකාකාර ජීවිතය මේ වෙනකොට සෑහෙන වෙනසකට ලක් වෙලා කියල මට දැනෙනවා. නමුත් ඒ වෙනසට හේතුවත් පහුගිය අවුරුදු හතරම කියලත් මට හිතෙනවා.
2010 අවුරුද්ද ආරම්භයත් සමගම මගේ රැකියා ජීවිතයේ ගන්ධබ්භ කාලයක් ඒ කියන්නෙ සේවාස්ථ පුහුණු කාලයක් ආරම්භ උනා. නමුත් ඒ සඳහා මා නුවර ශාඛාවට අනුයුක්ත කල බැවින් ගම රට අතැර යන්නත් වුනා. දැන් වැඩිය බලොග් එක පැත්තෙ එවෙන්නෙ නැත්තෙත් ඒකයි. සතියකට සැරයක් ගෙදර ආපු වෙලාවට ඉඩක් තිබුනොත් මොනවා හරි කුරුටු ගාල යනවා ඇරෙන්න ඉස්සර වගේ මේකටම වෙලා ඉන්න අවස්ථාවක් නැහැ දැන්. වෙලාව තිබුනත් සතියක් තිස්සෙ මම එනකම් තනියම ගෙදර ඉන්න අම්මත් එක්ක වචනයක් කතා නොකර කොම්පීතරේ අල්ලගත්තොත් ඒක කොච්චර අසාධාරණද?
නුවර ජීවිතේ නම් වරදක් නැහැ. ඒත් හවස් වෙනකොට තමයි එපා වෙන්නෙ. සේවය නිමවෙලා නවාතැනට ගියාම හිතට දැනෙන්නෙ මහා පාලු මූසල කම්මැලි කමක්. තනි කමක්. දුරකතනය තිබුනට මගේ තනිකම නැති කරගන්න හැමදාම යාලුවන්ට කතා කරල ඒ අයට වදයක් වෙන්නත් බෑනෙ. මුලින් මුලින් හවසට ගන්නොරුව සිට පේරාදෙනියටත් නැවත පේරාදෙනියේ සිට ගන්නොරුවටත් ඇවිදිමට පුරුදුව සිටියත් වැස්ස පටන් ගත්තට පස්සේ ඒකත් නැවතුනා.
මේ දවස් වල නම් ටිකක් වැඩිපුර නිවාඩු තියෙනවා. හැම අවුරුද්දකම වගේ මේ කාලය සංචාරක ව්‍යාපාරයේ off season එක නිසා මේ දවස් වල අපිට අවස් තුනක් වැඩ කලාම දවස් තුනක් නිවාඩු ලැබෙනවා. එහෙම කරන්නෙ මේ කාලෙට ආයතනයේ වියදම අඩු කර ගන්නයි. මට ඉතින් දවස් තුනෙන් තුනට කොළඹ එන්නයි නුවර යන්නයි බැරි නිසා දවස් පහක් වැඩ කරල දවස් පහක් නිවාඩු ගන්නවා. අදින් මගේ දවස් පහක එක නිවාඩුවක් ඉවරයි. දැන් නම් හෙට උදේ යන්න තියෙනව කියල හිතනකොටත් හරි කම්මැලියි.
නිවාඩු දවස් ටිකේ බ්ලොග් එකේ මොනව හරි ලියන්න කියල හිතනකොට මාස ගානක් තිස්සෙ ලියවෙන්නෙ නැතුව හිතේ හිරවෙලා හිටපු වචන එකකට එකක් යටකරගෙන එලියට පනින්න හදන නිසා කිසිම දෙයක් හරියට ලියා ගන්න බැහැ. දැන් මම තීරණයක් ගත්තා හිතේ තියෙන දේවල් දින පොතක ලියන්න. එතකොට වෙලාව තියෙන විදියට ඒවා බ්ලොග් එකට පිටපත් කරන්න පුලුවන්නෙ.
Monday, May 17, 2010
ඔබ මට හිමි නෑ.......
අපට අප අහිමි බව
දනිමු අප දෙදෙනාම
ඒත් ඇයි වෙන්වන්න
මැලි කමක් මේ තරම්
කඳුලැලි සඟවා අප දෙනෙතේ
අන්සතු වෙමු අපි මේ භවයේ
බාධක දුරලූ ලොවක දකින්නට
පෙරුම් පුරමු මතු උපදින භවයේ
Wednesday, April 28, 2010
Saturday, March 6, 2010
Wednesday, February 17, 2010
Tuesday, February 2, 2010
මුළු හදින් මම ඇයට පෙම් කොට............
මා රසවිඳ ඇති බොහොමයක් ගීත වලට බොහෝවිට පදනම් වෙලා තියෙන්නෙ ඒ ඒ ගීත රචකයන්ගේම පෞද්ගලික ජීවිත අද්දැකීම්. මේ ගීතයත් එහෙමමයි. හැමදාම හවසට තමන්ව මුණගැසීමට පැමිණෙන තම පෙම්වතිය එක් දිනක් නොපැමිණීම නිසා තමයි රචකයා අතින් මේ ගීය ලියවිලා තියෙන්නෙ. ඔහු නමින් ආරියදාස එඩ්මන්ඩ් පෙරේරා ජයසූරිය. අනුරාධපුරයේ හිටපු දිසාපතිවරයෙක්. මේ රචකයා අතින් ලියවුනු එකම ගීතය මෙය වීම සහ මෙය ගායනා කරන නාරද දිසාසේකරයන් සහ ගීත රචකයා එකම පන්තියක අධ්‍යාපනය ලැබූ මිතුරන් වීම මේ ගීතයේ තවත් විශේෂත්වයකි.
එක දවසක් දකින්නෙ නැතුව මෙහෙම ගීතයක් ලියවුනා නම් ඔහු ඇයට කොච්චර ආදරය කරන්නට ඇත්ද? ගීතයෙ එහෙම ලියවිලා තිබුනට ඇත්ත ජීවිතේදි නම් ඔවුන් දෙන්නා විවාහ වෙලා තියෙනවා. වැඩි විස්තර මෙතනින් බලන්න.
Friday, January 29, 2010
කලකට පස්සේ........
හෆ්ෆා...... ගිය සිකුරාදා(22) ඉදන්ම කියවලත් තවම මේ බ්ලොග් ටික කියවල ඉවර කර ගන්න බැරි උනානෙ. සති දෙකකට පස්සෙ ගිය සිකුරාදා තමයි ගෙදර ආවෙ. ආ කියන්න අමතක උනා මම දැන් වැඩ කරන්නෙ නුවරනෙ. කොළඹදි වගේ නෙවෙයි එහෙදි බ්ලොග් කියවන්න වෙලාවකුත් නෑ. තිබුනත් මම පරිගනක අංශයෙන් ඉවත් උනු නිසා කොම්පීතරේකුත් නෑ මටම කියලා.කාලෙකින් මේ පැත්තේ ආවෙ නැති නිසයි පොඩි සටහනක් දාල යන්න ආවෙ. එහෙනම් මම යනවා ආයෙත් බලොග් ටික කියවන්න. ඉඩක් ලැබුනු ගමන් අලුත් දෙයක් ලියන්නම්.
Sunday, January 3, 2010
සිංහලයේ අවසන් රජ මාළිගය

ශ්‍රී දළදා මාලිගාව, සිංහලයේ අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මාලිගය ලෙසට වැරදි මතයක් අප බෙහෝ දෙනෙකු තුල ඇත.ඉහත රූපයේ දක්වා ඇත්තේ 1815 දී සුද්දන් විසින් ගිනිබත් කරන ලදුව පසු කාලීනව සංරක්ෂනය කරන ලද නියම රජ මාලිගයයි.
පසුගිය දිනෙක නුවර ගිය විටෙක මීට අවුරුදු විස්සකට පමණ පෙර පාසැල් අධ්‍යාපන චාරිකාවකදී මේ මාලිගය නැරඹීමට ගිය මතකය නැවත අලුත් උනා. මෙය පිහිටා තිබෙන්නේ ශ්‍රී දළදා මාලිගාවට වම් පසින් රාජා ඇතාගේ කෞතුකාගාරයට යාබදවයි. නමුත් ආරක්ෂක හේතූන් නිසා ඒ පැත්තෙන් මෙයට ඇතුලු විය නොහැක. මෙහි පිවිසීමට නම් නාථ දේවාල භූමිය මැදින් ඇති මාර්ගයේ ගමන් කල යුතුය.
මෙහි පිවිස අරමුණක් නැතිව ඒ මේ අත ඇවිදිමින් සිටි මට එහි සිටි අපූරු පුද්ගලයෙක් මුණ ගැසුනි. ඔහු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව මෙහි සේවයේ යොදවා ඇති නිලධාරි මහතෙකි. රජ කතා වල පමණක් අසා තිබුනු සීමැදුරු කවුළුව, රජ කාලයේ භාවිතා වූ වායු සමීකරණයක් (මෙය විශාල අවානක් වැනි දෙයකි) වැනි ඉතා වටිනා පුරා වස්තු රාශියක් ඔහු විසින් මා හට පෙන්වා දී ඒ පිලිබදව ඉතා ගැඹුරු විස්තරයක්ද ලබා දුන්නේය. ඔහු පැවසූ පරිදි සුද්දන් මෙය ගිනිලන්නට පෙර මෙහි මහල් තුනක් තිබී ඇත. නමුත් ගින්නෙන් විනාශ නොවී ඉතිරිව ඇත්තේ මේ කොටස පමණය.
ඔහු පැවසූ ආකාරයට දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට පැමිනෙන මහා ජනකායෙන් සියයට එකක්වත් දෙනා මේ මාලිගය නැරඹීමට නොපැමිනේ. මා ගිය දිනයේත් දළදා මාලිගාව තුල ඇඟිල්ලක් ගැහීමටවත් ඉඩක් නොමැති වුවත් එදා දවසටම මෙම මාලිගය වෙත පැමිණ ඇත්තේ මා පමනකි. එය එක්තරා ආකාරයක මගේ වාසනාවකි. මා හට මුන ගැසුනු පුද්ගලයා සමග නිදහසේ දොඩමළු වී ඉතා වැදගත් කරුණු රාශියක් දැනකියා ගැනීමට හැකි වූයේ ඒ නිසාය.


Tuesday, December 29, 2009
2010 - අලුත් ගමනක ආරම්භයක්

හැම අවුරුද්දෙම අන්තිමට කරනව වගේ අදත් මගෙ කාර්යාලයෙ මගේ වැයික්කිය අස්පස් කරන්න පටන් ගත්තා. ඒත් පොඩි වෙනසක් තියෙනව කලින් අවුරුදු වලට වඩා. වෙනදට මම අස්පස් කරන මේසේ පුටුව කබඩ් ලිපිගොණු සේරම ජනවාරි පලවෙනිදට මාව පිලිගන්න බලන් ඉන්නවා. ඒත් ලබන ජනවාරි පලවෙනිදට ඒවා වෙනත් කෙනෙකුට භාර දෙන්න වෙනවා කියල තාමත් මගෙ හිත පිලිගන්නෙ නෑ. ආයතනයෙන් වෙන් නොවුනත් පුරුදු රස්සාව දාල යන්න වෙනව කියල හිතන කොටත් මහා දුක් මුසු හැඟීමක් හිතට එනවා. කලින් ලිපියකත් මම ඉඟි කරල තිබුන පිම්ම පනින්නයි මේ අස්පස් කරල සූදානම් වෙන්නෙ. පහු ගිය දවස් ටිකේ මගේ රාජකාරි භාරගන්න ආපු කෙනාව පුරුදු පුහුණු කරන එකටම කාලෙ ගතවුනා. හැම දේටම වඩා දුක හිතෙන්නෙ කවදාවත් රස්සාවකට පිට රට යන්නෙ නෑ කියල හිතාගෙන අතටම ආපු අවස්ථාත් බොහොමයක් අතෑරපු මම මේ සූදානම් වෙන්නෙ ලංකාව දාල යන්න කියල හිතන කොට තමයි. අලුත් තැනැත්තාව පුහුණු කරලාට පස්සෙ මගේ පුහුණු කාලය ආරම්භ වෙනවා. ඒ අපේ ආයතනයේම නුවර ශාඛාවට අනුබද්ධිතව. පුහුණුව අතර තුර අන්තර්ජාලයට පිවිසීම බොහෝම සීමා සහිත වෙයි. පුහුණුවෙන් පස්සෙ විදේශ රටක පිහිටි ආයතනයේම ශාඛා ජාලයසම්බන්ධව පත්වීම භාර ගන්න වෙනවා ලබන අවුරුද්දෙ මැද භාගය වෙන කොට. මෙතෙක් කල් මා රාජකාරී කල විෂය ක්ෂ්‍රේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම පරිභාහිර විෂය ක්ෂ්‍රේත්‍රයකට සම්බන්ධව මට උසස්වීමක් ලැබීම තමයි මේ සේරටම හේතුව. කොහොම උනත් මා ගැන ආයතනය තැබූ විශ්වාසය බිඳක්වත් පලුදු නොකර ලැබෙන රාජකාරිය අකුරටම ඉටු කිරීමට තමයි හිතාගෙන ඉන්නෙ.
ඉතින් අපි අලුත් අවුරුද්දක අලුත් විදියට ආයෙත් මුනගැහෙමු. එතෙක් ලබන්නා වූ 2010 අවුරුද්ද සියලු දෙනාටම සියලු සිතුම් පැතුම් ඉටු වන සුභම සුභ අලුත් අවුරුද්දක්ම වේවා...........
Saturday, December 26, 2009
මාත් ඔහොම ගිය හැටි මතකයි..........
"අර කෙල්ලගෙ බෙල්ල හිර වෙලා මැරෙනව අර තුරුලු කරන් යන විදියට.."
"ආ... දැන්ද ඒක තේරෙන්නෙ.. ඒ කාලෙ මාව තුරුල් කරන් යන කොටත් දැකපු මිනිස්සු ඔය විදියටම කියන්න ඇති..."
මේ මගේ මිතුරෙකුත් ඔහුගේ බිරිඳත් අතර පේරාදෙණිය මල් වත්තේදී මා ඉදිරිපිට ඇතිවූ දෙබසක්. මෙය ඇසීමත් සමග මාව ගොලු වෙලා පාසැල් කාලය වෙත මතකය දිව ගියේ නොදැනිම වගේ. මේ මිතුරාත් මාත් දෙදෙනාම පෙම්වතියන් සමග පේරාදෙණිය මල් වත්තට ආ ගමනත් ඇතුලුව සොඳුරු මතක රැසක් මා ඉදිරිපිට මැවුනේ චිත්‍රපටයක රූපරාමු පෙලක් මෙනි. ඇත්තටම අපටත් ඒ කාලෙ මිනිස්සු එහෙම කියන්න ඇති නේද?
ඒ උසස් පෙල කරන කාලයේ ගියාට පසු මාත් මිතුරාත් මල් වත්තට ආ පලමු අවස්ථාව මෙය වීමත් ඔහුට ඇය හා විවාහ වී ඔවුන්ගේ දියණිය සමගත් එදා පෙම්වතිය සමග එහි ගිය මා අද තනිවමත් පැමිනීම දෛවයේ සරදමක්ද කියලත් හිතුන කීප වරක්ම. ඒ වගේම මගේ හිතට ආපු දෙයක් තමයි අද මම මේ දකින කුරුළු ජෝඩු වලින් කී දෙනෙක් එකට කූඩු වෙන්න වාසනාව ලබයිද, කී දෙනෙක් මම වගේ තනි වෙයිද කියන එක.
ආදරය කියන්නෙ හරිම පුදුමාකාර දෙයක්. මිනිස්සු වෙනස් වුනාට කාලය වෙනස් වුනාට ආදරය හැමදාම එක වගේ කියල මට හිතෙනව.
මේ සියලුම සිදුවීම් අස්සෙ අමරදේව ශූරීන්ගෙ ගීයක කොටසක් තොලග මිමිනෙන්න පටන් ගත්තෙ නිකම්ම වගේ...
" සිරි පොද වැස්සේ එකම කුඩය යට ...
තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ.....
මාත් ඔහොම ගිය හැටි මතකයි..
මට හොඳ හැටි මතකයි........."
Tuesday, December 15, 2009
මා හට දී ඔයා ඈ සුර ලොව ගියා
අපේ ගෙවල් කිට්ටුව හිටපු මගේ වයසෙම යෙහෙලියක් මීට අවුරුදු කීපයකට පෙර මියගියා යම්කිසි රෝගයක් නිසා. ඒවෙනකොට එයාට මාස කීපයක් වයස දරු පැටියෙකුත් හිටියා. ඊට පස්සෙ ඇයගෙ සැමියා මේ දරුවත් එක්ක තනියෙම ජීවත් වුනා. අපි හැමෝටම කලයත් එක්ක ඒකත් තවත් එක සිදුවීමක් පමණක්ම වුනා. දැන් මේ දරුව ටිකක් ලොකුයි. පෙර පාසැල් යන්නත් පටන් අරන්. හැමදාම උදේට තාත්තත් එක්ක අහිංසක විදියට ඉස්කෝලෙට යන මේ දරුවව දකින හැම වෙලාවෙම මේ ගීතය මගේ මතකෙට එනවා. මේක ගායනා කරල තියෙන්නෙ කේ. සේන කියල ගායකයෙක්. මගේ හිතට වැදුනු සංවේදීම ගීත වලින් එකක් තමයි මේ.
Wednesday, December 9, 2009
Subscribe to:
Posts (Atom)




